Mar 17, 2018

එජාපයේ නව නිලධාරී මණ්ඩලය මාර්තු 31 ට කලින් - ඇමති සාගල කියයි



එක්සත් ජාතික පක්ෂයේ 2018 වර්ෂයේ නව නිලධාරී මණ්ඩලය මාර්තු 31 වැනිදා වක විට පත් කරන බව තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්‍යවරයා එසේ පැවසුවේ ඌරුබොක්ක අමංගිරිය පාලම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.
මේ මැතිවරණය ඉවර වුණා විතරයි. මැතිවරණ කාලේදී හැමෝම තම තමන්ගේ දේශපාලන අදහස් දැක්වූවා. විශේෂයෙන් පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ අයගේ අදහස්, පොහොට්ටුව කියන ඒ අලුත් පක්ෂය ඒ අයගේ අදහස් වගේම අපේ අදහස්  අපි ඇවිල්ලා දැක්වුවා. ජනතා විමුක්ති පෙරමුණ ඒ අයගේ අදහස් දැක්වුවා. දේශපාලන වශයෙන් බෙදුණා ගම. මැතිවරණ කාලේදී විශාල හැලහැප්පිලි වුණේ නෑ, අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගෙන්න පටන්ගත්තා. නමුත්, ගමේ දේශපාලනය අදහස් වශයෙනුත් බෙදිලා හිටියා. අර පක්ෂ වගේම. ඒත් අද ඒක ඉවරයි. ඒ මැතිවරණය ඉවරයි. දැන් තියෙන්නේ ඒ පත්වෙච්ච අයටත් රජයත් එක්ක වැඩකරලා මේ සංවර්ධනය මේ ගමට ඒන එකේ වගකීම. හැමෝම ඉල්ලුවේ ජනතාවට වැඩකරන්න. දැන් වැඩකරන්න ජනතාව බලය දුන්නම වැඩකරන්න ඕන. මේ කාලෙත් ගහගන්න බැහැ. වෙන වෙන අදහස් දරන්න බැහැ. එක අදහසයි දරන්න පුළුවන්. ගම දියුණු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හදන අදහස තමයි දරන්න ඕන. තමුන්නාන්සේලා ඒකට වැඩකරන්න ඕන. ඒකට අවශ්‍ය උදව් උපකාර රජයෙන් ගන්නවා. 
මං බලාපොරොත්තු වෙනවා, අනිකුත් පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කරන්න. අපි හැමෝම එකතු වෙලා ප්‍රතිඥාවක් දෙන්න ඕන, මේ ජනතාවට එකතු වෙලා වැඩකරනවා කියලා. ඒ දේශපාලන යුගයක් මේ රටට ඕන. නැත්නම් හැමදාම පක්ෂ භේද බින්න වෙලා වැඩකරද්දී ජනතාවට වැඩකටයුතු වෙන්නැහැ. පහුගිය අවුරුදු දෙක, තුන තුළ ඔය ප්‍රශ්නේ තිබ්බේ නෑ. සභාවක් තිබ්බේ නෑ. වැඩකටයුතු ටික කරගෙන යන්න පුළුවන් වුණා. සභාවේ නිළධාරීන් ඒ වැඩකටයුතු වලට උදව් කළා. නමුත්, මන්ත්‍රීවරයෙක් හිටියම විතරක් කාර්යක්‍ෂම වෙන්නේ නෑ. නිළධාරීන් වැඩකරද්දී මොකද මන්ත්‍රීවරයා ගම දෙන්න ඕන හැමවෙලාවෙම. 
ගමට වගකියන්න ඕන. එතකොට තමයි කාර්යක්ෂම වෙන්නේ. ඡන්දේ ඉල්ලලා මන්ත්‍රීවරු පත්කරන වැඩසටහන් තියෙන්නේ. ඊළඟ අවුරුදු කීපය තුළ මේ ප්‍රදේශයේ වැඩ ටික වේගයෙන් කරන්න, අපි තමුන්නාන්සේලා එක්ක එකතු වෙලා වැඩ කරනවයි කියන විශ්වාසය තියෙනවා. 
සංවර්ධනය විතරක් නෙමෙයි. නමුත්, තමුන්නාන්සේලාට තව ගොඩක් ප්‍රශ්න තියෙනවා. ජීවනෝපාය තේ ආර්ථිකය දියුණු වෙන්න ඕන. තේ වල මිල නම් ගොඩක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මට මතකයි 2015 ජනාධිපතිවරණය කාලේදී අපේ පක්ෂයේ වශයෙන් ඇවිල්ලා මොකක්ද තමුන්නාන්සේලාට කිව්වේ. තේ මිල රු. 50 ට - 60 ට බැහැලා. ඒ එන ආදායමෙන් තමුන්නාන්සේලාට ජීවත් වෙන්න අමාරුයි. යන වියදම වත් පියවගන්න බැහැ. ඒ නිසා අපි සහතික මිලක් දෙනවා කියලා. සහතික මිල දීලා, ඒ යන වියදම අතරතුරේ වෙළඳපල ගොඩනගලා, මිල වැඩි කරන්න අපිට දක්ෂකම තියෙනවා. 
2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණාම, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාම පෙබරවාරි මාසේම පටන්ගත්තා ඒ සහතික මිල ලබලා දෙන වැඩසටහන. රු. 80 ක සහතික මිලක් ලබලා දුන්නා. නමුත්, ඒ වැඩසටහන ආරම්භ වෙද්දිත් අපි කිව්වේ මේක වැඩිකල් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ තේ මිල ඉහළ මට්ටමකට රැගෙන යන්න අපිට පුළුවන් වෙනවා කියලා. පුළුවන් වුණාද ?. අද කීයද තේ වල මිල. සහතික මිල 80 පහුකරලා. 100-101-102-103 – 110 දක්වා අද මිල වැඩි වෙලා තියෙනවා. 
ඒ කියන්නේ අපි උනන්දු වුණොත් වැඩපිළිවෙල හරියට කළොත් ඒක කරන්න පුළුවන්. තවත් ඉහළට ගන්න පුළුවන් මේ තේ මිල. තවත් ඉහළට ගන්න නම් අපි නිෂ්පාදනය තවත් ගුණාත්මක කරන්න ඕන, වෙළදපල හොයන්න තවත් උනන්දු වෙන්න ඕන. ඒ වැඩකටයුතු දෙකම කරන්න තේ මණ්ඩලය නවින් දිසානායක ඇමතිතුමාගේ නායකත්වයෙන් අද විශාල වැඩකොටසක් කරනවා. 
තේ වල මිල තවත් ඉහළ යනවා. ඒ වගේ මේ ඉඩම් වල වගාකරන තේ වල ලැබෙන ඵලදාව වෙන්කර ගන්නත් ඕන. එකක් තියෙනවා, නැවත වගාව පරණ වෙච්ච තේ ටික අලුතෙන් වගාකරන්න අපි වැඩසටහනක් ගේන්න ඕන. ඒ වැඩසටහනත් නවින් දිසානායක ඇමතිතුමා ගෙනැල්ලා තියෙනවා. නැවත වගාව සඳහා අක්කරයකට දෙලක්ෂ හැටදාහක් දෙනවා. ඒක තවත් වැඩිකරන්න ආසියානු සංවර්ධන බැංකුවේ ස්ටාර් ව්‍යාපෘතිය මේ ප්‍රදේශ වලට ගේන්න එතුමා මහන්සි වෙනවා. 
අනික් එක තමයි පොහොර ප්‍රශ්නය. අපි කිව්වේ අපි හොඳ පොහොර දෙන්නම්. මහින්ද චින්තන පොහොර මට මතකයි ඒ කාලේ දැම්මා. සතියක් විතර දළු ලැබෙනවා. නමුත්, එයින් පස්සේ නැහැ. ඒත් අද ජනතාව අපිට කියන්නේ ඒක 1350 ට ලැබුණා - දැන් පොහොර 3000 යි කියලා. ඊටත් වැඩි වුණා පහුගිය දවස් වල කියලා. අපි ඒක දිහා නැවත බැලුවා. මැතිවරණ කාලේදී තමුන්නාන්සේලා එක්ක කතාකරද්දි කියපු ප්‍රශ්න ගැන අපේ නායකයින් එක්ක කතා කළා. අපේ අඩුපාඩු හදාගන්න ඒ වැඩපිළිවෙල අපි හදනවා. පොහොර ගුණාත්මක වුණා, ඒත්, පොහොර වල මිල වැඩි වුණා. ගුණාත්මක පොහොර වගේම තමුන්නාන්සේලාට ඒවා යොදන්න අවශ්‍ය ඒ සහනෙත් ඕන කියලා තමයි තමුන්නාන්සේලා අපිට කිව්වේ. 
ඉතිං, අපේ රජය ඒ ගැනත් ක්‍රියාකරනවා. මහින්ද චින්තන පොහොර වගේ බාල පොහොර දෙන්නේ නැහැ. මේ තියෙන ගුණාත්මක පොහොරම අඩු මිලකට ලබාගන්න සහනාධාරයක් ලබලා දෙනවා. එතකොට මේ ඵලදාව තවත් වැඩිකරගන්න පුළුවන්. ඵලදාවත් වැඩිවෙනකොට මිලත් ඉහළ යන කොට ජීවනෝපාය තව ටිකක් දියුණු වෙනවා. ඒත්, තේ කර්මාන්තයෙන් විතරක් ජීවත්වෙන්න බැහැ. තරුණ, තරුණියෝ ඉන්නවා රැකියා බලාපොරොත්තුවෙන්. තව තරුණ, තරුණියෝ ඉන්නවා - අපිට රැකියාවක් නෙමෙයි ඕන, අපිට පුළුවන් අපේ හයියෙන් ව්‍යාපාරයක්, කුඩා කර්මාන්තයක් කරන්න. අපිට ඒකට අතහිත දෙන්න කියන. ඒ වගේ තරුණ අයට, ගම් වල කාන්තාවන්ට ශක්තිය දෙන්න, අලුත් ණය යෝජනා ක්‍රම, අඩු පොළියට ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා. ඒ ටික කරන කොට අපි උදව් උපකාරත් කරනවා. මඟපෙන්වන්න. පුහුණුව ලබාදෙන්න අපි වැඩසටහන් කරනවා. මේ ටික කරනකොට ජීවනෝපාය තව ටිකක් සංවර්ධනය කරන්න, දියුණු කරන්න පුළුවන්. 

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ මෙසේය.
මාධ්‍යවේදීන් - පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු කෙරීගෙන යනවද ? 

අමාත්‍යවරයා - පක්ෂයේ 2018 වර්ෂය සඳහා නිළතල දරන අය දැන් පත්කරන්න නියමිතව තිබෙනවා. මැතිවරණය නිසා ප්‍රමාද වුණා. මං හිතන්නේ මාර්තු 31 වන විට ඒ කටයුතු අවසන් කරන්න තමයි පක්ෂය තීන්දු කරලා තියෙන්නේ. ඒ සඳහා අපි දැනටමත් සාකච්ඡා කීපයක් කරලා තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමා එක කමිටුවක් පත්කළා රජයේ ප්‍රතිපත්ති පිළිබඳව තවදුරටත් කරුණු අවබෝධ කරගෙන අගමැතිතුමාට යෝජනා ඉදිරිපත් කරන්න. පක්ෂෙට යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ඒ කමිටුවේ සභාපති හිටියේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා.
රුවන් විජේවර්ධන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් තව කමිටුවක් කටයුතු කරනවා. පක්ෂයේ අදහස් පිළිබඳව. අපි ඉදිරියට යන්න ඕන ආකාරය පිළිබඳව. ඉතිං, මේ කමිටු දෙකේම සාකච්ඡාවන් කීපයක් අගමැතිතුමා එක්ක කරලා තියෙනවා. මම එක කමිටුවක ඉන්නවා. ඒ ගැන තමයි මම වැඩිපුර දන්නේ. අනිත් කමිටුවත් නමුත්, ඒ වගේම අගමැතිතුමා එක්ක කතා කරලා තියෙනවා. 
තව කමිටුවක් තිබ්බා පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ. ගමට යද්දී ජනතාව කියන ප්‍රශ්න, එතකොට රජයේ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමේදී තියෙන ප්‍රශ්න. නවක මන්ත්‍රීවරු ලෙස ඔවුන්ට තියෙන ප්‍රශ්න මොනවාද ?. මේ හැමදෙයක් ගැනම ඒ කමිටුවෙන් කතා කරලා තිබ්බා. 
මේ කමිටු කීපයේම එන අදහස් පක්ෂයේ ඉහළ නායකයෝ, අගමැතිතුමා එක්ක කතාකරගෙන අපේ වැඩසටහන ඉක්මනටම ක්‍රියාත්මක වෙනවා. 2020 මැතිවරණය ඉලක්ක කරගෙන පක්ෂයක් හැටියට දියුණු වෙන්නත්, අපි රට ගොඩනගනවා, ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නංවනවා කියපු ඒ විශ්වාසය ජනතාවට ක්‍රියාත්මක කරදීම වෙනුවෙනුත් වැඩකරනවා. 




Previous Post :Go to tne previous Post
Next Post:Go to tne Next Post