Mar 26, 2018

මොන ජාතියේ රටක් ද අපි?


‘‘වංචාව දකින තැන එය වංචාව යැයි ඔබ නොකියන්නේ නම් ඔබ වංචාකාරයකි’’ ~ නසීම් නිකොලාස් තලෙබ්
නුවර ගිනිි ගනිමින් තිබුණි. අවිහිංසාව වදාළ මානව ඉතිහාසයේ උත්කෘෂ්ට යතිවරයාගේ ධර්මස්කන්ධයේ කොත වැනසෙමින් තිබුණි. ඒ ගින්නෙන් ඇති කළ ලජ්ජාව සහ නින්දාව, අපේ අවමානාත්මක ජාන දේහය බවට පත්ව ඇත.
අශිෂ්ටයා අතට පත්වන ආගම, එම ආගම නොඅදහන සියල්ලන් වෙත දමා ගසන අවියක් බවට පත්වෙයි. අපේ ජනතාවට අභිමානයක් වූ දහමක්, ද්‍රෝහිත්වයේ සහ ආගමික වංචනිකත්වයේ රුදුරු ප්‍රේක්ෂාව තුළ, ලේවැකි අභිප‍්‍රායක් බවට පත්විය. ඒ තුළ, ඝාතනය සහ වධ බන්ධනය සේම, අගපසඟ වැනසීම සහ තමාගේ විශ්වාසය අනෙකා මත පැටවීම ඉස්මත්තට ආවේය. මුස්ලිම්වරු ඊට වඩා අඩු වැරදිකරුවෝ නොවෙති. ඔවුහූ බෞද්ධ පන්සලකට පහර දුන්හ. අපි මොක්කු වී ඇත් ද?
යටත්විජිත පාලකයන්ගෙන් නිදහස දිනාගෙන ගෙවුණු වසර හැත්තෑවක කාලය තුළ, අපේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ‘විශේෂ තැනක්’ දීමට අපි කටයුතු කොට ඇත්තෙමු. 1972 එම ව්‍යවස්ථාව කෙටුම්පත් කෙළේ සහ පනවා දුන්නේ, රාජ්‍යයේ ලෞකිකත්වය පිළිබඳ විශිෂ්ඨ රචනා ලියා ඇති විද්වතෙකු වන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ය. එතෙක් එකමුතු සංහිඳියාවකට පුරුදුව සිටි ජනතාවක් අතරේ ඒ ඔස්සේ සමාජ-ආගමික අසමානත්වයේ කෙමනක් ඇටවුණි.
මේ අතරේ, තවත් ඔක්ස්ෆර්ඞ් ලිබරල්වාදියෙකු වූ බණ්ඩාරනායකගේ 56 පෙරලිය තුළ, එතෙක් කල් ඔහු සතුව තිබූ සකල ලිබරල් චින්තාව පටු දේශපාලනික වාසියට නතුවීමෙන් ගොඩනැගුණු පුහු අලංකාරිකයන් හරහා සමාජ-වාර්ගික උමතුවක් නිර්මාණය කෙරුණි. ඒ ඔස්සේ, ජාතියේ ව්‍යාජ ස්වෝත්තමවාදී හැඟීමක ආනුභාවයෙන්, එතෙක් රටේ පැවති වාර්ගික ප‍්‍රචණ්ඩත්වයේ ප‍්‍රවේගය තවත් වර්ධනය කෙරුණි.
එසේම, සුළු-ජාතික මානසිකත්වයකින් ජීවත් වූ මහජාතියක් මත සුවිශාල බලපෑමක් කළ සීමාන්තිකයෙකු වූ අනගාරික ධර්මපාල වැන්නන් ප‍්‍රචලිත කළ කල්පිත ‘ආර්ය’ ජාතකයක් පිළිබඳ සාමූහික මනසකින් හෙබි සිංහල-බෞද්ධයන්ට, ‘රට, දැය, සමය’ නැමැති චින්තනය ආරෝපණය කෙරුණි. ඒ මානසිකත්වයේ මූලය වශයෙන් සැලකෙන්නේ, දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙසෙන දෙමළ ජනතාව ගැන සිංහලයා තුළ ඇති බියකි. එවැනි බියකින් කූඩු කෙරුණු පැවැත්මක් පවතින්නේ, අතිශය අනාරක්ෂිත අඩියක ය. එවැනි තත්වයක්, වඩාත් සටකපට සහ වඩාත් පාපිෂ්ඨ අරමුණුවලින් හෙබි දුෂ්ට දේශපාලඥයන්ට ඉතා පහසුවෙන්ම සිය වාසියට යොදා ගත හැකිය.
අපේ සිංහල බෞද්ධ ප‍්‍රජාවට සිදුව ඇත්තේ හරියටම අන්න ඒ දේ ය. උතුරේ වෙසෙන දෙමළා පිළිබඳව ඇති බිය සමග, නැගෙනහිර සහ රටේ වෙනත් පළාත්වල වෙසෙන මුස්ල්මානුවා ගැන ඇති ඊර්ෂ්‍යාව එකට ඈඳුණු විට, විනීත භාවය සහ සමාජ පුරුෂාර්ථ කෙරෙහි අසංවේදී වන ‘එදිරිවාදී නිර්වේදයේ’ ආනුෂංගික ප‍්‍රවාහයකින්, මේ විනාශයටත්, ශ‍්‍රී ලාංකීය ආරයේ වාර්ගික ශෝධනයටත් (ජාතියක් අතුගා දැමීමටත්) පාර කැපේ. එකම රටේ වෙසෙන සහෝදර පුරවැසියන්ට කුරිරු අන්දමින් සැලකීමේදී එම බිමේ වෙසෙන කිසිවෙකුට කට වසාගෙන සිටීමේ හැකියාවක් තිබිය යුතු නැත.
විනීත භාවය සහ මූලික පුරුෂාර්ථ කෙරෙහි වන එවැනි ‘එදිරිවාදි නිර්වේදයක්’ තුඩුදෙන්නේ, ඝෝර ඝාතනයන්ටත්, තිරිසන් වධ බන්ධනයන්ටත් ය. සිංහල බෞද්ධයන් සෑහෙන කලක් තිස්සේ, විශේෂයෙන් 1956 න් පසුව, නොමග ගිය දේශපේ‍්‍රමීත්වයක ප‍්‍රකාශනයක් ලෙස, මෙවැනි ජාතිවාදී කලකෝලාහලවල ගැලීමට, එක්තරා ගුප්ත වූත්, අපූර්ව වූත් හැකියාවක් පෙන්නුම් කොට තිබේ. එවැනි නොහික්මුණු ජාතිවාදී ඝාතනයන්ට එරෙහිව කතා කරන ඕනෑම කෙනෙකු ද්‍රෝහීන් වශයෙන් සහ ‘අපේ දෙයට’ ද්‍රෝහී වන්නන් වශයෙන් හංවඩු ගසා තිබේ.
මේ කෝෂගත මනෝ භාවය නිර්මාණය කෙරෙන්නේ, වාර්ගික උත්තරීතරත්වයකින් ඔදවැඩුණු වෛරී හැඟීමක මාත‍්‍රාවක් නිරන්තරව සැපයීමෙනි. ඒ අනුව, ‘රට, දැය, සමය’ පිළිබඳ මේ සුළිය තුළට අහිංසක ගැහැනු සහ පිරිමි ආකර්ශනය කර ගැනේ. වාර්ගික වෛරයක හැඟීම් අවුලූවන විට, බුදුන් වහන්සේගේ සියලූ උත්කෘෂ්ට දේශනා අමතක වෙයි. ඒ ගැහැනු සහ මිනිසුන්ගේ වහා බිඳෙන සුළු සිත්සතන් තුළ ඊළඟට අරක්ගන්නේ මිනිසාගේ මුරුග ගති පැවතුම් ය. දැනට වැඩෙමින් පවතින මේ මානව ජවනිකාවේ මූලික කල්ක‍්‍රියාව එබඳු ය.
මනුෂ්‍යත්වයේ අධම සහජාසයන් විසින් මිනිසාගේ නැණවත් හැකියාවන් යටපත් කරනු ලැබේ. මිනිස් වර්ගයේ සියුම් වෙනස්කම් දේශපාලනික වාසි මගින් නසා දමනු ලැබේ. ඒ හරහා, සමාජ-වාර්ගික සංහිඳියාවේ නිර්මිතය ඉරා දමනු ලැබේ. තෙල්දෙනිය කලකෝලාහල සහ මුස්ලිම් ජනයා වැඩියෙන් වසන ප‍්‍රදේශවලට ඒවා ව්‍යාප්ත වීම මේ ඔඩුදුවන පිළිකාවේ එක් ලක්ෂ්‍යයක් විය. කෙසේ වෙතත්, 1983 ජුලි විනාශයෙන් වෙනස්ව, මේ විනාශය සෑහෙන වේගයකින් පාලනය කර ගැනුණි.
මෙවැනි තත්වයන් ගැන මොන ආකාරයකින්වත් කතා කිරීමේ අයිතියක් රාජපක්ෂලාට නැත. ඔවුන්ගේ අභිමතය සහ අනුමැතිය මත මෙවැනි ජාතිවාදී කෝලාහල ගණනාවක් හටගත් අතර විනාශකාරී ආණ්ඩුකරණයකටත් ඔවුන් උර දී තිබේ. කහ සිවුරු අස්සේ සැඟවුණු සමාජ විරෝධී රුදුරු බලවේග, සාමාන්‍යයෙන් සන්සුන් ජනතාවක් මත, ඔවුන්ගේ පාලන කාලය තුළ මුදා හැර තිබේ.
ගෙදර පහන් පැලේ පුංචි බුද්ධ රූපය ඉදිරියේ වන්දනාමාන කරන එවැනි ගැමි ගැහැනියකගේ සන්සුන් මනසට ඒ මගින් ඇති කරන හානිය සුළුපටු නොවේ. ගෞතම බුදුන්ගේ දේශනා කෙරෙහි එම ගැහැනියගේ භක්තිය, ඉස්ලාම් මූලධර්මවාදයට සෙලවිය නොහැකි තරමට ශක්තිමත් ය. ධර්මය කෙරෙහි ඇගේ ඇති ඇලීම වෙනත් ආගමක පිස්සෙකුගේ කල්ක්‍රියාවක් මත නොසැලෙන බව සැබවි. එහෙත්, ඇගේ විශ්වාසයන්, ජනප්‍රිය බුද්ධාගමේ බාහිර සාටෝපයන්ගෙන් හැඩි වී තිබේ. දුස්ශීල භික්ෂූන්ගෙන් සහ එවැනි භික්ෂූන්ව තමන්ගේ අවශ්‍යතා සඳහා පාවිච්චියට ගන්නා අවස්ථාවාදී දේශපාලඥන්ගෙන්, එම ජනප්‍රිය බුද්ධාගම දූෂ්‍ය වී තිබේ. පාලක දේශපාලඥයන් සහ එවැනි භික්ෂූන් අතර වන සමීප සම්බන්ධය අපේ ඉතිහාසය තුළ නිරන්තරයෙන් භාවිතයේ යෙදී ඇති බව දැක ගත හැකිය.
මේ නොබිඳිය හැකි සබඳතාව බොහෝ විට පාලකයාගේ වාසිය පිණිස ක‍්‍රියාත්මක වී ඇති අතර, එහි ප‍්‍රතිඵලයක් වශයෙන් යටත් වැසියන්ගේ පැවැත්ම කෙරෙහි ද එය හේතුකාරක වී තිබේ. එහිදී ඔවුන්ගේ සිත්සතන් ආපසු හැරවිය නොහැකි ආකාරයෙන් දූෂ්‍ය කොට තිබේ. සියවස් ගණනක් තිස්සේ කෙරෙන ලද එම තත්වාරෝපණය (හැඩගැන්වීම) තුළින්, දේශපේ‍්‍රමය පිළිබඳ අගතිගාමී හැඟීමක් ඔවුන්ගේ සන්තානයේ පැලපදියම් කොට තිබේ. එවැනි පරිසරයක, විවෘත සිතකට කිසි ඉඩක් ඉතිරි කෙරෙන්නේ නැත.
මේ කියන පාලක-පූජක සංයුතිය ලංකාවේ පමණක් නොව, ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහි වීමට බොහෝ කලකට පෙර සිටම ඊනියා සංවර්ධිත ලෝකයේ පවා ගාමක බලවේගයක් වී ඇති බව පෙනී යයි. ආගමික ලෝගුවෙන් බොහෝ පාලකයන්ගේ පව් ඒ කාලයේ වසා දමා ඇති අතර, ඒ මගින් තම තමන්ගේ ගතමනාව සරි කරගෙන තිබේ.
කෙසේ වෙතත්, ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැමිණීමත් සමග, ප‍්‍රජාතන්ත‍්‍රීයව තෝරා පත්කර ගත් නායකයන් කෙරෙහි වන සෘජු ආගමික බලපෑම, දරා ගත නොහැකි මට්ටමකින් හීන වී යාමට පටන් ගත්තේය. පන්සලට, පල්ලියට සහ කෝවිලට පමණක් ආගම සීමා කර ගත් විට, ආණ්ඩුකරණය නිදහසේ කරගෙන යාමට පාලකයන්ට හැකි විය. ආර්ථික හා දේශපාලනික ප‍්‍රශ්නවලට ලෞකික විසඳුම් සෙවීමට ඉන් පසු ඔවුන්ට හැකියාව ලැබුණි.
මූලධර්මවාදය නැගීමේ එක් හේතුවක් වන්නේ, ආගම සහ රාජ්‍යය අතර පැවති සම්බන්ධතාව තුළ සිදු වූ ඒ ඓතිහාසික පරිණාමයයි. අනාගත ඉතිහාසඥයන් සහ දේශපාලන විද්‍යාඥයන් ඒ ගැන අධ්‍යයන්යන් කොට යම් නිගමනයකට අනාගතයේදී එළැඹෙනු ඇති. ඒ කෙසේ වෙතත්, ගත වූ සියවස් දෙකක කාලය තුළ පැහැදිළිව දැකිය හැකි දෙයක් වන්නේ, ආර්ථික වශයෙන් වඩාත් දියුණු රටවල් එසේ වී ඇත්තේ, තමන්ගේ ප‍්‍රතිපත්ති සහ ප‍්‍රතිපදා සම්බන්ධයෙන් ආගමික වශයෙන් නොව, ලෞකික වශයෙන් මැදිහත් වීමෙන් වන බවයි.
අවාසනාවකට, එවැනි සබුද්ධික රටවල් අතරට ශ‍්‍රී ලංකාව නොගැනේ. අප අනුගමනය කොට ඇත්තේ ඉන්දියානු ආදර්ශයයි. එනම්, එක්සත් භාවයට වඩා බෙදී යාමේ බල මාදිලියයි. දේශපාලන දිවිය තුළ දෛනික කටයුතුවලදී අප කැමැත්තෙන්ම අනුගමනය කොට ඇත්තේ, ද්‍රැවීකරණයයි. (අන්ත දෙකකට බෙදීමයි). අදහස් සහ පුරුෂාර්ථ අතරේ පරිපූර්ණ ඒකාත්මික වීමේ ගමන් මගේ බොහෝ දුරක් අප පැමිණ ඇත. එහෙත් අපේ පාලකයන් සහ ආගමික නායකයන් අපව අතරමං කොට ඇත.
වරක් දෙවරක් නොව, හැම විටකම පාහේ, ආගමික වෛරයේ සහ කෝපයේ ගිනි පුපුරු නිවී යතැයි පෙනෙන විට, මේ ආගමික පිස්සන් සහ හොර ආධ්‍යාත්මික නායකයන් තම වෛරය සහ කෝපය හරහා ගනුදෙනු බේරා ගනු වස්, ඒ ගිනි පුපුරු යළි දැල්වීමට උත්සුක වී තිබේ. අපේ කාලයේ දේශපාලඥයන්ගේ සහ ආගමික නායකයන්ගේ කෙරුවාව එබඳු ය. බුදුන් වහන්සේගේ ශාන්ත වූ දහමින් සන්සුන් වන අර මහළු ගැහැනියගේ සිට තමාගේ ආගමට අයත් නැති එකාව මැරීමට සහ පෙති ගැසීමට කඩු කිණිසි අතට ගන්නා තරුණයා දක්වා ක්‍රියාත්මක​ වී ඇත්තේ මේ වෛරයේ සහ කෝපයේ විෂම චක්‍රයයි. බුදුන්ගේ දේශනා, අද වන විට, වෛරී සහගත චපල හැඟීමකට යට කොට තිබේ. තෙල්දෙනිය, නිදහස් ලංකාවේ ප්‍ර​ථම වාර්ගික හිංසනය නොවන්නා සේම එය අවසාන එක ද නොවෙනු ඇත.
*2018 මාර්තු 24 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “What Kind Of A Nation Are We?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා


SHARE THIS

Author:

If you have any problems or have comments or suggestions for improving our web, please contact ceylonmuslim24@gmail.com we will do our best to assist you | Chief Edito, CeylonMuslim Media Network