Mar 11, 2018

වාර්ගික ගැටුම් හා දෘෂ්ටිවාදයේ බිද වැටීම



කේ.ජී.පිලිප් ශාන්ත –
කේ.ජී.පිලිප් ශාන්ත
සම්මුතික ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව වාර්ගික ගැටුමක් මුලින්ම ඇතිවූයේ ගාල්ලේ ගිංතොට දී ය. සාමාන්‍ය සිවිල් ගැටුමකින් ආරම්භ වූ එය පසුව ප්‍රාදේශීය දේශපාලකයන් ද සම්බන්ධ වී විශාල දේපළ හානියක් දක්වා වර්ධනය විය. එවැනි ගැටුමක් මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ සතු හැකියාව උපරිමයෙන් භාවිතා වූ බවක් දක්නට නොලැබුණි. එම ගැටුමට දායකවූ පිරිස් අත් අඩංගුවට ගැනීමට පවා ආරක්ෂක අංශ පසුබට විය. ගාල්ලේ ප්‍රබල දේශපාලකයකුගේ මාධ්‍ය ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් කීවේ ප්‍රසිද්ධ හා ජන බලයක් ඇති පූජකයන් අත් අඩංගුවට ගතහොත් තත්ත්වය පාලනය කිරීම අසීරු නිසා එසේ කරන්නට අපහසු බවය.
ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී තරාතිරම නොබලා කටයුතු කරන බව කියන්නේ හාස්‍යයට බව ය. යම් යම් පූජකයන්ගේ තරාතිරම අනුව ඔවුන් කළ වැරැදි වලට අත් අඩංගුවට නොගන්නේ නම් නීතියේ ආධිපත්‍ය බිද වැටේ. ඒ සමගම සමාජයේ සෙසු කොටස් ද නීතිය අතට ගැනීමට පෙළඹේ. නීතියේ ආධිපත්‍ය බිද වැටුන වහා සමාජය තුළ පවතින්නේ අරාජික බවකි. ඒ අරාජිකත්වය පරදා රාජ්‍යයේ නීතිමය ආධිපත්‍ය පැතිරවීමට ගාල්ලේ ගිංතොට දී ද සිදු නොවීය.
ආරක්ෂක අංශ ආරක්ෂාකාරී ස්ථානයක?
එය පෙරලා අම්පාර සිද්දිධියේ දී ද සිදුවිය. නීතිය ක්‍රියාත්මකවීම ප්‍රමාද විය. ගැටුමක් ඇතිවිය. විනාශකාරී තත්ත්වයක් මතුවිය. අනතුරුව එය තෙල්දෙණියට ද සංක්‍රමනය විය. තෙල් දෙණියේ පෞද්ගලික ආරාවුලක් දුරදිග ගොස් ප්‍රචණ්ඩ හා වර්ගවාදී පදනමින් ව්‍යාප්ත විය. එසේම එය පසුව දිගන, පූජාපිටිය, අඹතැන්න වැනි මහනුවර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශයන්ට ද පැතිර ගියේ ය. මීට මූලික හේතුව වූයේ නීතිය ක්‍රියාත්මක නොවීමයි.
තෙල්දෙණියේ සිද්ධියට අදාළ පෞද්ගලික ගැටුම සිදුවූයේ පෙබරවාරී මාසයේ 22 යැයි කියවේ. තුවාලකරු රෝහල්ගතව සිටි අතර සතියකුත් ඉක්මගොස් මිය ගියේ ය. එවැනි ගැටුමක දී හා තුවාලකරු මිය යෑමක දී සමාජය නොසන්සුන් වන බව ආරක්ෂක අංශ තේරුම් නොගැනීම ප්‍රශ්නකාරීය. අවසානයේ විශාල ගැටුමක් දක්වා වර්ධනය වූ පසුත් ආරක්ෂක අංශ වල ආධිපත්‍යමය හැසිරීමක් දක්නට නොවුණි. ඊට හේතුව තත්ත්වය පාලනය කිරීමට ඔවුන්ට ස්ථිරසාර වැඩපිළිවෙලක් නොවූ නිසා විය හැකිය.
වත්මන් සංදර්භය තුළ වාර්ගික ගැටුම් ඇතිවීමට පවතින ඉඩකඩ පිළිබදව ආරක්ෂක අංශ සෝදිසියෙන් සිටිය යුතුය. දීර්ඝ කාලයක් තිස්සේ එකිනෙකා හා අනවබෝධයෙන් වෛරයෙන් හා ක්‍රෝධයෙන් දිවි ගෙවන ජන කොටස් අතර සුළු සිද්ධියක දී පවා ආරක්ෂක අංශ සිදුවිය හැක්කේ කුමක්ද යන්න ගැන පර්යේෂණාත්මක අවබෝධයක සිටිය යුතුය. ඒවා සම්බන්ධයෙන් පුරෝකථනයන් කරමින් ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණදීමට පූර්ව සූදානමක සිටිය යුතුය.
එහෙත් පසුගිය කාලයේදී සිදු වූ සෑම වාර්ගික ගැටුමකදීම ආරක්ෂක අංශ සිටියේ ශක්තිමත් ප්‍රහාරක මට්ටමක නොවේ. ඔවුහු ආරක්ෂණවාදී ස්ථාවරයකට පසුබැස තිබුණි. නමුත් සමාජයේ ඇතිවන උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සදහා ඒ ආරක්ෂක අංශම ප්‍රහාරකවාදී ස්ථාවරයක ස්ථානගතව සිටියහ. විශේෂයෙන් කොළඹ දී ශිෂ්‍ය උද්ඝෝෂණ ඇතිවන විටත් තඹුත්තේගම දී ගොවි උද්ඝෝෂණ ඇතිවන විටත් ආරක්ෂක අංශ උනන්දුවෙන් යුතුව ඒවා මැඩ පවත්වන අන්දම පෙනෙන්නට තිබුණි. එහෙත් ඒ උනන්දුව වාර්ගික ගැටුම් මැඩපැවැත්වීමේ දී දක්නට නොවීම කනගාටුවට කරුණකි.
ක්ෂ්‍රේතයන් දෙකක අභියෝගයන්ට ස්ථාවර දෙකකින් කටයුතු කිරීමට ආරක්ෂක අංශ පෙළඹීම සැක කටයුතු ය. එක්කෝ ජනවිඥාණය තුළ පැළපදියම් වී ඇති සිංහල ස්වෝත්තමවාදී ආකල්පයන් ආරක්ෂක අංශ තුළට ද කිදා බැස තිබිය යුතුය. නො එසේනම් ගාල්ල, අම්පාර, මහනුවර ප්‍රදේශයන්හි ඉහළ ආරක්ෂක නිලධාරීන්හු ඇතුලත් බලමුළු කොළඹ හා තඹුත්තේගම ප්‍රදේශයන්හි ඉහළ ආරක්ෂක බලමුළු තරම් කාර්යක්ෂම හා උපායශීලී නොවිය යුතුය. එහෙත් එසේවූවා නම් ඒවා කළමනාකරණය කර ගැනීමට රජය ක්‍රියාශූරී විය යුතුය. නමුත් සිදුවූයේ ආරක්ෂක අංශයේ නිහඩතාව මැද ප්‍රචණ්ඩත්වය පැතිර යෑමයි.
වෘත්තීයවේදීහු නිදිද?
සෞඛ්‍යය ක්ෂේත්‍රයේ පමණක් නොව අන්තර් ජාතික වෙළෙද ගනුදෙනු සම්බන්ධයෙන් ද උනන්දුවෙන් වැඩ කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ප්‍රශ්නයේ දී ගොළුවිය. සමාජය මහත් ආලෝලනයකට පත් කළ “වදපෙති” සම්බන්ධයෙන් ජන විඥාණය සකස් වී ඇති ආකාරය සම්පූර්ණයෙන් වෙනස් කර හැකිව තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ය. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔවුහු අද වෙනතුරුත් වචනයක් පවසා නැත. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් රජය වෙනුවෙන් පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කළා මිස සමාජයට වගකිව යුතු වෛද්‍යවරු නිහඩව සිටීම කනගාටුදායක ය.
රජයේ නිලධාරීන්ට රජය අපහසුතාවට පත් කිරීම නිතියෙන්ම වලක්වා තිබේ. ඔවුන් වර්ගවාදී අදහස් පැතිරවීම, වාර්ගිකව අයහපත් වචන භාවිතය, අභිනය කිරීම විනය පරීක්ෂණයකට ලක් කර දඩුවම් ලබාදිය හැකි හේතූන් ය. නමුත් රජයේ සමහර නිලධාරීහු සමාජ මාධ්‍ය භාවිතයෙන් මෙන්ම එදිනෙදා ජනයා හමුවන ස්ථානයන්හි දී වාර්ගික ලෙස අදහස් පළ කළහ. කාර්යාලයේ, කඩ පිළේ හා වෙනත් මහජනයා ගැවසෙන ස්ථානයන්හි දී මේ රජයේ නිලධාරීහු ද රිසිසේ වාර්ගික
ගැටුම් ඇතිවන පරිදි වූ ආකල්පයන් වර්ධනය වන ලෙස හැසුරුණි. ඒ අතර රජයේ මාණ්ඩලික නිලධාරීන් වන ප්‍රාදේශීය ලේකම්වරු පවා වූහ. තමන් මොන තනතුර දැරුවත් තම අවිඥාණිකය එළියට පැනීම ඊට හේතුවයි.
නමුත් ලක්ෂ පහලොවක් පමණ වන රජයේ සේවකයන්ගේ විනය පාලනය කර ගනිමින් වර්ගවාදය පැතිරවීම වලක්වා ගැනීමට රජය අපොහොසත් විය. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඒ සදහා අවශ්‍යතාවක් තිබුණා නම් වාර්ගික භාවිතාවන්හි යෙදීමේ ආදිනව සදහන් කරමින් එකම එක නිවේදනයක් නිකුත් කරන්නට අවකාශ තිබුණි. ඒ අනුව රජයේ නිලධාරීන් විනය නීති කඩ කරමින් වාර්ගික අගතියක් වන පරිදි හැසිරීම තම රැකියාව අහිමිවීමට හේතුවක් බව සිහි කැදවූවා නම් අවම වශයෙන් ලක්ෂ පහලොවක් වන රජයේ සේවකයන්ගෙන් බහුතරය එවැනි අගතිගාමී හැසිරීමකින් වලක්වා ගැනීමට ඉඩ තිබුණි. එහෙත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හෝ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය හෝ රජයේ වෙනත් මාණ්ඩලික නිලධාරී සංගමයක් හෝ අද වනතුරු ඊට මැදිහත් නොවීය.
රජයට අති විශාල ක්ෂේත්‍ර නිලධාරිහු පිරිසක් සිටිති. ආණ්ඩු මාරුවන ජාතික තලයේ මැතිවරණයක දී තම තමන්ගේ දේශපාලන මත පැතිරවීමට මේ ක්ෂේත්‍ර නිලධාරිහු විශාල කාර්යයක් කරති. එහෙත් වාර්ගික ගැටුම් උත්සන්න වන මෙවැනි කාලයක සමාජය සන්සුන්ව තබා ගැනීමට ඒ ක්ෂේත්‍ර නිලධාරීහු යොදා නොගැනීම කනගාටුවට කරුණකි. රාජ්‍යය සකස්වී ඇත්තේ අති විශාල ව්‍යුහමය හා ආකෘතිමය ස්වරූපයකිනි. ඊට මතවාදී තලයේ මෙන්ම ආරක්ෂණවාදී තලයේ ද සුවිශාල ශක්තියක් පවතී. එහෙත් සම්මුතික ආණ්ඩුව රාජ්‍යයයේ මේ අසීමිත බලය වාර්ගික ප්‍රචණ්ඩත්වය මර්දනය කර ගැනීම සදහා භාවිතා කළ වගක් දක්නට නොවුණි. ගැටුම් ආරම්භ වූ වහා ආරක්ෂක අංශ උනන්දුවෙන් හා බලාපොරුත්තුවෙන් සිට අවශ්‍ය පියවර ගත්තා නම් මේ තරම් ව්‍යාප්තව ප්‍රචණ්ඩත්වය පොලා පනින්නේ නැත.
ලෝකයා උනන්දුවෙන්
මෙහි ප්‍රතිඵලය වූයේ එක්සත් ජනපදය, ඉන්දියාව හා ඕස්ත්‍රෙලියාව වැනි රටවල් තම පුරවැසියන්ට අවවාදාත්මක නිවේදන නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයේ දී ප්‍රවේශම් වන ලෙස පැවසීමයි. එසේම තුර්කිය, එක්සත් ජනපදය, යුරෝපා සංගමය, කැනඩාව, මහජන චීනය, ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඇතිවූ වාර්ගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් තදබල උනන්දුව පළ කර තිබුණි. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයා බරපතල ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. ඔහු පවසා තිබුනේ වගවීම හා සාමය ඇති කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ කැපවීමේ ප්‍රගතිය මද බවයි. ඒ තත්ත්වය තුළ වෙනත් ක්‍රියාමාර්ගයන් සදහා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් උනන්දු කරවන බව ඔහු කීය.
විදේශ රාජ්‍යයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජගත් සංවිධානයන් ද ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් විශාල උනන්දුවකින් පසු වේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ලෝක පරිමාණයෙන් අපකීර්තියට පත්වූයේ මානව හිමිකම් විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කළ අපකීර්තිමත් ප්‍රතිපත්තිය නිසා ය. එහෙත් අලුත් ජනවරමකින් සම්මුතික ආණ්ඩුව කටයුතු කරන්නට පටන් ගත් පසුව ඒ ආකල්පය ලෝකයාගෙන් වසන් වෙමින් තිබුණි. ඒ අනුව අලුත් ඇසකින් ශ්‍රී ලංකාව දෙස බලන්නට ලෝකයාම පෙළඹුණි.
සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය
2005 දී ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය ලබා ගත් රාජපක්ෂ රෙජීමය රාජ්‍යයේ ද්‍රෂ්ඨිමය මතවාදය ලෙස තබා ගත්තේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ජාතිකවාදයයි. ඒ අනුව රාජ්‍යයේ මතවාදී අනුශාසකයන් වූයේ ජාතික චීන්තනය, හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ වැනි ආන්තිකවාදී මතවාදයන් කර පින්නා ගත් පක්ෂ හා සංවිධානයන් ය. මේ පක්ෂ හා සංවිධානයන් අතර ඇත්තේ සියුම් වෙනස්කම් පමණක් වුවත් පවතින සමානකම් වඩා ශක්තිමත් ය. ඒ අනුව සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මතවාදයේ පෝෂක සමාජ තීරුව වූයේ අතරමැදි සමාජ පන්තියයි.1978 දී ලාංකික සමාජය කරා ආ ගෝලීය ප්‍රාග්ධනයට ඊටම අනන්‍ය වූ මුහුණුවරක් තිබුණි. නිෂ්පාදන ආර්ථිකයක් තුළින් සේවා ආර්ථිකයක් කර විතැන් වූ ගෝලීය ප්‍රාග්ධනයේ මේ මුහුණුවර තුළ ප්‍රබල ලෙස ශක්තිමත් වූයේ මෙම අතර මැදි පන්තියයි. මේ පන්තියේ ද්‍රෂ්ඨිමය මතවාදය විසින් රාජ්‍යයේ බලය අල්ලා ගැනීම 2005 ජනාධිපතිවරණය දී සිදු වුණි.
එතැන් පටන් ලාංකීය රාජ්‍ය පෙනී සිටීයේ සිංහල බෞද්ධ ජාතිකවාදයක් වෙනුවෙනි. ජාතික ආර්ථිකයක් වෙනුවෙනි. ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාවළිය තුළ ජාතික රාජ්‍යයේ යළි ගොඩනැංවීමක් වෙනුවෙනි. එහෙත් පානම් පත්තුවේ සිංහල ජනතාව තම පාරම්පරික ගොවි බිම් වලින් බලහත්කාරයෙන් එළවා දමද්දී සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරය කන් බිහිරි කරවන නිෂ්ශබ්දතාවක ගිලී සිටියහ. තමන් විසින් ආරක්ෂා කළ යුතු ජන කොටසක් තම මතවාදයේ ග්‍රහණයට ලක්ව ඇති රාජ්‍යය විසින් පීඩනයට ගොදුරු කර ගැනීමම එක් ප්‍රශ්නයකි. ඒ අවස්ථාවේ දී ජාතිකවාදී ව්‍යාපාරය නිහඩව සිටීම තවත් ප්‍රශ්නයකි. මේ සංවේදී නෝනා මහත්වරුන්ගේ නිහඩතාව ඇත්තටම උභතෝකෝටීකයකි.
සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ජාතික ව්‍යාපාරය නිහඩ වූයේ මේ අවස්ථාවේ දී පමණක් නොවේ. ලාංකික ආර්ථිකයේ ප්‍රධානම ආදායම වී ඇත්තේ විදෙස් ගෘහසේවිකා වෘත්තිය හා ඇගලුම් අපනයනයයි. මේ ක්ෂේත්‍රයන් දෙකෙහිම බහුතර ශ්‍රමිකයන් පිරිස සිංහල බෞද්ධ කාන්තාවන් ය. මේ වෘත්තීන් දෙකම නිසා සිංහල බෞද්ධ කුටුම්භයේ පැවැත්මට එල්ල වී ඇත්තේ බරපතල තර්ජනයකි. එහෙත් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ජාතිකවාදී ව්‍යාපාරය මේ තර්ජනයන්ට සංවේදී නොවුණි. ඒ නිසා මේ සම්බන්ධයෙන් කිසිම මැදිහත්වීමක් නොදැක්වූ අතර ආරක්ෂා කළේ දැඩි නිහඩ බවකි. මේ අනුව පැහැදිලි වන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරය සිංහලයන්ගේ සැබෑ ප්‍රශ්න කෙරෙහි සංවේදීභාවයක් නොමැති බවකි.
එහෙත් මේ ජාතිකවාදී ව්‍යාපාරය වරෙක දෙමළ ජනතාවගෙන් ද තවක් වරෙක මුස්ලිම් ජනතාවගෙන් ද ඉල්ල විය හැකි තර්ජනයන් ගැන නිතර මත පළ කරති. එසේම බටහිර ජාතීන්ගෙන් එල්ල වන්නා වූ තර්ජනයන් ගැන බිය පළ කරති. ඒ අර්ථයෙන් තමන්ගේ අභ්‍යන්තර සතුරාගේ භෞතිකය වෙනුවට ඊනියා බාහිර සතුරෙකුගේ පාර භෞතිකය බිල්ලෙකු ලෙස පෙන්වීම මෙම ව්‍යාපාරයට ආවේනික වූවකි. ජාතිකවාදී ව්‍යාපාරයක් අභ්‍යන්තර සතුරන් ද තම ජාතියේ ගොඩනැංවීමට පවතින බාධා ද හදුනා ගනිමින් යම්කිසි ජාතියක ජාතික අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීය යුතුය. එය අන් ජාතිකයන් හදුනා ගත යුත්තේ තම ජාතිය හා සුහදව සිටීය යුතු අසල්වැසියකු ලෙස මිස තම ජාතිය විනාශ කිරීමට තැත් කරන්නා වූ සතුරකු ලෙස නොවේ. එහෙත් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ජාතිකවාදී ව්‍යාපාරය නිතරම කටයුතු කළේ අන් ජාතීන් තුළින් සතුරෙකු ගොඩ නංවා ගැනීමටත් ඒ සතුරා මතින් තම ජාතියේ ජන කොටස අතර පදනමක් ගොඩනගා ගැනීමටත් ය.
සිංහල ජාතිකවාදී ව්‍යාපාරය එවැනි ව්‍යාපාරයක තිබිය යුතු මූලික ඉලක්කයන්ගෙන් බැහැරවීම හදුනා ගත හැක්කේ ඊටම ආවේනික ද්‍ර්‍යෂ්ඨිමය උභතෝකෝටීකයක් ලෙසිනි. අතරමැදි පන්තීන්ගේ මතවාදයක් ලෙස සිංහල ජාතිකවාදී ව්‍යාපාරය ගොඩනැංවී තිබීම මේ උභතෝකෝටීකයට මූලික හේතුවයි. දියුණු ධනේශ්වර සමාජයන් තුළ ජාතිකවාදී ව්‍යාපාරයන් ගොඩනැංවෙන්නේ ධනපති පන්තිය තුළිනි. ඒ මතවාදය පෝෂණය කිරීමේ ලා යම් සැලකිය යුතු කාර්යක් අතර මැදි පන්තීන් විසින් සිදු කළත් මතවාදය හැසිරවීමේ ලා තීරණාත්මක බලය රුදී ඇත්තේ ධනපති පන්තියේ ආධිපත්‍යය මතය. එහෙත් ලාංකික සමාජය මුහුණ දෙන්නේ ඊට වෙනස් අත්දැකීමකටය. ඒ අනුව ලාංකික සිංහල බෞද්ධ ජාතිකවාදයේ මතවාදී ආධිපත්‍ය රුදී ඇත්තේ මුළුමනින්ම අතර මැදි පන්තිය මතය.
මේ අතර මැදි පන්තියේ පන්ති අවශ්‍යතා ධනේශ්වර පන්තියේ පන්ති අවශ්‍යතාවන්ගෙන් මුළුමනින්ම වෙනස් වේ. ඒ නිසා අතර මැදි පන්තියේ ආධිපත්‍යට ලක්ව ඇති ලාංකික ජාතිකවාදී ව්‍යාපාරය ජාතියේ සැබෑ ප්‍රශ්නයන් කෙරෙහි සංවේදී නොවීම ස්වාභාවිකය. මේ ජාතිකවාදී ව්‍යාපාරය මුළුමනින්ම රදා පවතින්නේ බාහිර සතුරෙකු මතය. ඒ අර්ථයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරය වර්ගවාදී සුළු ධනේශ්වර සමාජ ව්‍යාපාරයක් බව ද්‍රෂ්ඨිවාදීමය ලෙස හදුනා ගත හැකිය.
ජාතිවාදී එකමුතුව කඩා වැටේ
2015 දී සම්මුතික ආණ්ඩුව බලයට ඒමෙන් පසුව ඇතිවූ ප්‍රගතිශීලීම ලක්ෂණය වූයේ සිංහලබෞද්ධ ස්වොත්තමවාදී සමාජ ස්ථර වෙන් වී යෑමයි. නලින් ද සිල්වා නායකත්වය දුන් ජාතිකවාදී බලවේගය අද නන්නත්තාරව සමාජයෙන් අයැද සිටින්නේ සන්සුන්ව සිටින ලෙසයි. රාජපක්ෂ කදවුරේ බැසිල් රාජපක්ෂ සිංහල නොවන ජන කොටස් වල දායකත්වය අපේක්ෂාවෙන් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී ස්ථාවරෙයෙන් ඈත් වෙමින් සිටී. එසේම ඒ නිසාම විමල් වීරවංශ නායකත්වය දුන් සමහර භික්ෂු බලවේගයන් ද නිහඩව සිටී. ජාතිවාදී බලමුළුවේ මේ කැබලිකරණය සම්බන්ධයෙන් පොදු මහ ජනයා සතුටු විය යුතුය.
ඒත් සමාජයේ අවිඥාණය බවට පත්ව ඇත්තේ වාර්ගිකහරණයකි. සිංහලබෞද්ධ ආධිපත්‍යවාදය දරන පිරිස අතිමහත් ය. ඔවුන් උත්සාහ දරන්නේ වාර්ගික හරණයකින් සිංහල බෞද්ධ සමාජයක් ඇති කර ගැනීමට ය. එහෙත් එය කිසියම්ම හෝ ක්‍රමයකින් ප්‍රායෝගික නොවේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමට ගෙනෙන බහුතර පිරිස මැද පෙරදිග රැකියා කරන ශ්‍රී ලාංකිකයන් ය. මැද පෙරදිග අති මහත් බහුතරය ශ්‍රී ලංකාවේ වාර්ගික හරණයක දී නිෂ්ශබ්දව නොසිටී. මේ සරළ සත්‍ය තේරුම් ගන්නට නොහැකි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ටිය ළදරු මානසිකත්වයකින් යුක්තය. එහෙත් එය හැකි ඉක්මනින් පරාජය කළ යුතුය. එසේ නොවන්නට ශ්‍රී ලංකාවට පැහැදිලි අනාගතයක් නොමැත.
shan.info1978@gmail.com
Previous Post :Go to tne previous Post
Next Post:Go to tne Next Post