Mar 12, 2018

ජාතිය, ජාතිකත්වය හා යථාර්ථය



කපිල අභයවංස 
මහාචාර්ය කපිල අභයවංස
ජාතිය හෙවත් පුද්ගලයකුගේ උපත මිණුම් දණ්ඩ කොට ගෙන මනුෂ්‍යත්වය වර්ග කොට සැළකීම අනාදිමත් කාලයක සිට මානව සමාජයෙහි පවතින පුරුද්දකි. අතීත භාරතීය සමාජයෙහි මෙබඳු වර්ග කිරීමක් ඇරඹෙන්නේ පුද්ගලයාගේ උපතට ආගමික මුහුණුවරක් දීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. මහා බ‍්‍රහ්මයාගේ සිරුරෙහි මුඛය උරහිස කලවා හා දෙපතුල යන අවයවවලින් උපන් පිරිස් බව සළකා ඒ ඒ අවයවයන්ගේ උසස් පහත් බව අනුව මිනිසාගේ ද උසස් පහත් කොට සැළකීම ඇරඹී ඇත, මෙසේ උපත පදනම් කොට මිනිසාගේ උසස් පහත් බව මැනීම නිසා සමාජ අයිතිවාසිකම් හා වරප‍්‍රසාද උසස් පිරිසට පමණක් සීමා කිරීමට පටන් ගැනිණ. කිසියම් ජන කොටසක ඉපදීම නිසා උසස් පහත් බව සලකමින් පහත්යයි පිළිගැනුනු ජන කොටස්වලට මානව අයිතිවාසිකම් අහිමි කිරීම ජාතිවාදය ලෙස සැළකෙයි. උපත පදනම් කොට ගෙන බිහි කර ගැනුණු ජාතිවාදය වාර්ගිකත්වයක් කරා යොමු වීම අනිවාර්ය ප‍්‍රතිඵලයකි. ඒ ඒ ජන වර්ගයට ආවෙණික වූ ආගම භාෂාව සංස්කෘතිය වැනි කරුණුවලින් එක් එක් ජන වර්ගයක අනන්‍යතාවක් ද ගොඩනැගෙයි. මෙම අනන්‍යතාව ඒ ඒ ජන වර්ගයේ අභිමානය වර්ධනය කිරීමට හේතු වෙයි.
ජාතිවාදයට අතිරේකව ජාතිකත්ව වාදය නමින් එන තවත් වර්ගවාදයක් නූතන සමාජයෙහි කරලියට පැමිණ තිබේ. නැෂනලිසම් (Nationalism) යන ඉංගී‍්‍රසි පදයෙහි අරුතින් තනාගෙන ඇති ජාතිකත්ව සංකල්පයෙන් මූලික වශයෙන් අදහස් වන්නේ රටක සමස්ත සමාජයෙහි අනන්‍යතාව පදනම් කොට ගෙන මුළු රට පිළිබඳවම අභිමානය ගොඩ නගා ගැනීමකි. ඒ තුළින් ජාතික ධජය ජාතික ගීතය වැනි රට තුළ සිටින මුළු ජනතාව නියෝජනය කරන අනන්‍යතා සංකේතයක් වටා ජනතා සහභාගිත්වය හෝ සහයෝගිත්වය ගොඩ නැගීම අපේක්‍ෂා කෙරෙයි. මෙම ජාතිකත්ව වාදය වූ කලි රටක සංවර්ධනය සඳහා උපයෝගී වන්නකි. රටක ජනවර්ග රාශියක් පැවතිය හැකිය. ඒ ඒ ජනවර්ග එකිනෙකා කා කොටා ගන්නා විට, ජීවිත හා දේපල හානි සිදු කර ගන්නා විට ඒ රට කිසිවිටෙක නගා සිටුවිය නොහැක. ජාතික දේහය සුවපත්ව පෝෂණය කර ගැනීමට නම් ඒ ඒ ජනවර්ගය සතු වෙනස් කම් හා අනන්‍යතා ලක්‍ෂණ එසේ ම තිබියදී සැමට පොදු ලක්‍ෂණ උපයෝගී කොට ගෙන මුළු රට පොදුවේ නියෝජනය කරන ජාතික අනන්‍යතාවක් ගොඩ නැගිය යුතු වෙයි. ජාතිය ආරක්‍ෂා වන්නේත් එකිනෙකා සතු අනන්‍යතාවන් ආරක්‍ෂා වන්නේත් එවිටය. එක් වර්ගයක් පරයා අනෙක් වර්ගයක් නැගී සිටින්නට උත්සාහ දැරෙයි නම් දෙවර්ගයේ ම පරිහානිය මිස දියුණුවක් නම් බලාපොරොත්තු විය නොහැක.
ජාතිකත්ව වාදය අප රටේ කි‍්‍රයාත්මක වන්නේ කෙසේදැයි විමසා බැලීම ද මෙහිදී වැදගත් වෙයි. මෑතක සිට අප රටේ ඇතැම් වියතුන් ජාතිකත්ව වාදය හඳුන්වා දෙමින් එය පෝෂණය කිරීමට දරණ උත්සාහයන් දක්නට ලැබේ. එහෙත් මෙම උත්සාහයන් තුළ දක්නට ඇත්තේ ජාතිකත්ව වාදයට හිමි පුළුල් අර්ථය නොවේ. බෙහෙවින් පටු අර්ථයකින් ගෙන ඇති සැටියක් ඒවායේ භාවිතය තුළින් දක්නට ලැබේ. තම රටේ පොදු ජාතිකත්වය සැළකිල්ලට නොගෙන එක් එක් වර්ගයකට හිමි ජාතිකත්වය පෙරට ගැනීමක් එහිදී දක්නට ලැබේ. මේ මගින් සිදුවන්නේ වෙනත් වර්ගයක ජාතිකත්වයට හිමිතැන් අහිමි කරමින් තම වර්ගය නගා සිටුවීමේ මානසිකත්වය කරා ඉබේ ම ඇදී යාමකි. එයින් තරඟකාරිත්වයක් ඇතිවනු පමණක් නොව එකිනෙක් වර්ගයා අතර නොරිස්සීම් ඇතිවනු ද නොවැළැක්විය හැකිය. තමන්ගේ දෙය උසස්ය අනුන්ගේ දෙය පහත්යයි පවසමින් මිනිසුන් අතර ගැටුම් ඇති වෙතැයි බුදුන් වහන්සේ පවසන්නේ මෙබª තත්වයන් යටතේය. :සකං හි ධම්මං පරිපුණ්ණමාහු – අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු – එවම්පි විග්ගය්හ විවාදයන්ති*
එකිනෙක් වර්ගයා සතු භාෂාව සංස්කෘතිය ආගම කලාශිල්ප ආදිය රැුක ගැනීමත් දියුණු කර ගැනීමත් අවශ්‍යය. ඒවා එකිනෙක් වර්ගයා පවත්වා ගනු ලබන්නේ ඒවායේ උපයෝගිතාත්මක වටිනාකමක් ඔවුනට ඇති බැවිනි. සමස්ත මානව වර්ගයාගේ පොදු බව පිළිබඳව අන් කවරෙකුටත් වඩා කරුණු පහදා දුන් බුදුන් වහන්සේ පවා මෙම තත්වය පිළිගෙන තිබේ. ඊට හොඳම නිදසුන උදුම්බරික සීහනාද සූත‍්‍රයෙන් ඉදිරිපත් වෙයි. එහිදී උන්වහන්සේ නිග්‍රොධ නමැත්තකූ අමතා පවසා ඇත්තේ තමන් දහම් දෙසන්නේ හරිවැරදි පහදා දීමට හැර ඔවුනොවුන්ගේ මත විශ්වාස සම්ප‍්‍රදායයන් ආදිය වෙනස් කරවීමට නොවන බවයි. බුද්ධවචනය දූෂණය වීමේ අන්තරායෙන් මුදවා ගැනීම සඳහා වෛදික භාෂාවට නැගිය යුතුයැයි කළ ඉල්ලීමකදී උන්වහන්සේ පවසා ඇත්තේ බුද්ධවචනය කවරෙකුගේ වුවද භාෂාවකින් ඉගෙනීමට අවස්ථාව පැවතිය යුතු බවයි. (අනුජානාමි භික්ඛවෙ සකාය නිරුත්තියා බුද්ධවචනං පරියාපුණිතුම්).
මිනිස් සමාජය කවර පදනමක් යටතේ වුව ද ජනවර්ගවලට බෙදීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඔවුනොවුන් තුළ ඇතිවන අභිමානයෙන් තමන් අයත් වර්ගයට ආසක්ත වීමක් බැඳීමක් මානසික වශයෙන් ඇතිවීම බහුවාර්ගික සමාජයක යහ පැවැත්මට අතිශයින් අහිතකර වෙයි. සමාජයක යහපත රඳා පවතින්නේ වර්ග වශයෙන් බෙදී වෙන් වීම තුළ නොව වාර්ගික හැඟීම් පසෙක දමා හැම දෙනා ඒකරාශී වීම තුළය. රටක ආධ්‍යාමික දියුණුවේ හා භෞතික දියුණුවේ සංකලනයකින් පමණක් ජනතාවගේ යහපත සුභසිද්ධිය ලඟා කරගත හැකි බව අවිවාදයෙන් පිළිගැනුනකි. ආධ්‍යාත්මික දියුණුවේ ප‍්‍රතිඵලයක් ලෙස මිනිසා මිනිසා පිළිබඳව ගොඩනගාගෙන ඇති වැරදි මත ඉවත් වී මිනුසුන් අතර සුහදතාව ගොඩ නැගෙයි. මිනුසුන් අතර සුහදතා ආකල්පයකින් තොරව ජන සහභාගිත්වයෙන් හා ජන සහයෝගිත්වයෙන් ඇති කරගතයුතු භෞතික දියුණුව උදා කරගත නොහැකිය.
මෙම සන්දර්භයෙහිදී ආධ්‍යාත්මික දියුණුව යනුවෙන් අදහස් කරන්නේ මිනිසාගේ යථාර්ථය වටහා ගැනීමෙන් මානසිකව ඇතිවන සුහදශීලී භාවයයි. වර්ගවාදීව තමන් අනුන්ගෙන් වෙනස්ය යන හැඟීම නැතිව අනුන්ට වෛර කිරීමෙන් හිංසා කිරීමෙන් හා ඊර්ෂ්‍යා කිරීමෙන් බැහැරව අවිහිංසක වූ සුහදශීලිත්වය ගොඩ නැගෙන්නේ මිනිසාගේ යථාර්ථය අවබෝධ කරගත් විටයි. මිනිසා විවිධ කරුණුවලින් එකිනෙකාට වෙනස් වුවත් මූලික කරුණුවලින් සමානත්වයක් දරයි. බුදුදහම තරම් මිනිසාගේ යථාර්ථය තුළින් ඔහුගේ මූලික සමානකම් විවරණය කරමින් ඔවුනොවුන් අතර සුහදශීලිත්වයක් ගොඩනැගීමට සාර්ථක ව්‍යායාමයක යෙදුනු වෙනත් ඉගැන්වීම් පද්ධතියක් තවත් දක්නට නැත. එබැවින් ඒ පිළිබඳව සැකෙවින් හෝ කරුණු දැන ගැනීම මෙහිලා වැදගත් වනු ඇත.
මෙහිදී එක් කරුණක් මුලදීම අවධාරණය කළයුතුය. එනම් බුදුදහමේ එන මෙම ඉගැනවී්ම් කිසියම් එක් ආගමික ජනවර්ගයනට සීමා නොවන බවයි. මේවා පොදුවේ මනුෂ්‍යත්වය නගා සිටුවීමට ඉදිරිපත් කොට ඇති බැවින් ආගමික භේදයකින් තොරව කාගේත් අවධානයට යොමු වියයුතු කරුණුය. වර්ගවාදී හැඟීම් ඉවත් වියයුත්තේ බෞද්ධ ජනවර්ගයාගේ පමණක් නොවේ. බහුවාර්ගික සමාජයක එක් වර්ගයක් සුහදශීලී වුවත් අනෙක් වර්ගයන් එසේ නොවන්නේ නම් එක් වර්ගයක් අනෙක් වර්ගයක් අබිබවා යාමට තැත් කරන්නේ නම් එක් වර්ගයක් තවත් වර්ගයකට කෙනෙහිලි කම් කරන්නේ නම් ඊට එරෙහිව ප‍්‍රතිකි‍්‍රයා ඇතිවීම නොවැළැක්විය හැකිය. එමගින් සමස්ත සමාජයටම භයානක ප‍්‍රතිඵල අත් විඳීමට සිදුයනු ඇත.
බෞද්ධ ඉගැන්වීම්වලට අනුව අප කවුරුත් උපත ලබන්නේ කාටත් පොදු වූ හෙතුකාරණා සමූහයකිනි. පටිච්ච සමුප්පා නම් වු දහමින් කියවෙන සත්‍යය එයයි. හේතු මගින් උපදින හැම කෙනෙකුගේම පොදු ලක්‍ෂණය වන්නේ ඉපදීම හා මරණයයි. උප්පාද-වය ධම්ම යනුවෙන් කියවෙන්නේ එයයි. අපේ ජීවිත කෙටි කලකට සීමා වී මරණයට ගොදුරු වෙයි. එසේ නම් නොමැරෙන මිනුසුන් ලෙස ආත්මාර්ථකාමිත්වයෙන් තමන් හා තම වර්ගයා පමණක් ගැන සිතමින් කලහකාරීව හැසිරීමේ නිරර්ථක බව පැහැදිළි වෙයි.
මිනිසාගේ මූලික අපේක්‍ෂාව අතින් මිනිසුන් අතර ඇති සමානතාව ද බුදුදහමින් අවධාරණය වෙයි. සියළු මිනිසුන්ගේ මූලික අපේක්‍ෂාව වන්නේ දුකින් තොරව සුවසේ විසීමයි. (සුඛකාමා හි මනුස්සා දුක්ඛපටික්කූලා) සැප කැමති වීමත් දුක පිළිකුල් කිරීමත් හැම මිනිසෙකුගේ ම ස්වභාවයයි. සැප දුක කෙරෙහි එකම ආකල්පයකින් සිටින මිනුසුන් අතර බලූබළලූන් අතර මෙන් කවර කරුණක් උදෙසා හෝ කුලල් කා ගැනීමේ නිරර්ථක බව මිනිසාටම වැටහී යා යුතුය. මිනිසාට අනතුරු වියහැකි කවර කරුණකදී වුව ද අනුන් තමන්ට සමාන කොට බැලීමේ වැදගත් කම බුදුදහමින් අවධාරණය වන්නේ මේ නිසාය.
මිනිසාගේ මෙම සමානාත්මතාව පදනම් කොට ගෙන බුදුදහමින් ඉදිරිපත්වන සමාජ ආචාර ධර්ම රාශියකි. මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා යන ගුණ ධර්මයන් ගේ සමාජමය වටිනාකම මිනිසා විසින් වටහා ගතයුතු වෙයි. දාන පි‍්‍රයවචන අර්ථචර්යා සමානාත්මතා යන ගුණධර්ම බුදුදහමින් පැනවී ඇත්තේ මිනිසා නිවන් දැක්වීමට නොචේ. සමාජයක ජීවත් වියයුතු පිළිවෙත එය බව දැක්වීමටයි.
මානව සමානාත්මතාවත් එය සමාජ ආචාර ධර්ම මගින් කි‍්‍රයාත්මක වියයුතු ආකාරයත් රටක සමාජ දේහයට කාවද්දන තුරු වාර්ගික ගැටුම් නවතාලිය නොහැක. දෙව්ලොව ගොස් සුරසැප විඳින විදියත් අපාගතව කටු ඉඹුලේ නගින විදියත් දිනපතා උදේහවා රූපවාහිනී බණවලින් පැහැදිළි කළාට වාර්ගික ගැටුම් නොනවතින බව දැනටමත් ප‍්‍රත්‍යක්‍ෂ වී හමාරය.
මේ සඳහා කි‍්‍රයාමාර්ග සතරක අවශ්‍යතාව බුදුදහම අනුව වටහා ගත හැකිය. එවා දෙමාපිය වගකීම අධ්‍යාපනයේ වගකීම පූජ්‍යපූජක පක්‍ෂවල වගකීම හා රජයේ වගකීම යනුවෙන් පෙළ ගැස්විය හැකිය.
අන් මිනිසුන් ගැන පමණක් නොව සතා සිවුපාවා ගස්වැල් කෙරෙහි පවා සුහදශීලී අකල්පයක් ඇතිවන සේ ළදරු වියේ සිටම ළමා මනස හැඩගැස්වීමේ වගකීමෙන් දෙමාපියන්ට නිදහස් විය නොහැක. බුද්ධ කි‍්‍රෂ්ණ කි‍්‍රස්තු හා මොහමද් චරිත වලට වඩා ඒ ඒ ආගම්වලින් කියවෙන මිනිසා මිනිසා අතර සුහද සබඳතාව වර්ධනයට අදාළ කරුණු ආගමික අධ්‍යාපනයෙන් අවධාරණය විය යුතුය. මරණයෙන් පසුව ලැබෙන සැපසම්පත් හෝ දුක්දොම්නස් අවධාරණය කරනුවට වඩා ජීවත්ව සිටියදී සමාජ ජීවිතය සුවපත්ව තබාගත හැකි පිළිවෙත තම අනුගාමිකයන්ට වටහා දීමේ වගකීම පූජන්‍-පූජක පක්‍ෂවලට පැවරෙයි.
මේ අතරින් රජයක වගකීම සුවිශෙෂී වෙයි. රටක පාලන කටයුතු පැවරී ඇති ආයතනය රජය වන බැවින් එහි වගකීම විය යුත්තේ මුළුමහත් ජනතාව ම එක මවකගේ දරුවන් සේ සළකා කි‍්‍රයා කිරීමයි. ඇතමුන්ට වැඩියෙනුත් අනෙක් අයට අඩුවෙනුත් සැළකිල්ල පාලකයකූට තරම් නොචේ-තමන් බලයට පත් කිරීමට කිසියම් පිරිසක් වැඩි සහයෝගිත්වයක් දැක්වුව ද ඒ පිරිසෙන් අනෙක් පිරිස්වලට අසාධාරණයක් වේ නම් ඒ දෙස බීරි අලි න්‍යායයෙන් සිටීමට කිසිම පාලකයකුට අයිතියක් නැත. මෙහි ලා රාජ්‍යපාලකයකුට බුදුදහමින් දෙන එක් අවවාදයක් පමණක් අවධාරණය කරනු ප‍්‍රමාණයත්ය. රටතුළ කිසිදු තැනක අසාධාරණයක් වීමට ඉඩ නොතබනු (මා ච ඛො තාතා විජිතෙ අධම්මකාරො පවත්තිත්ථ).
රාජ්‍යපාලනය ධාර්මික පාලනයක් වියයුතු බව බුදුදහමේ අවධාරණයයි. රාජ්‍යපාලකයා ධාර්මික වියයුතුයයි (රාජා භවතු ධම්මිකො) ජනතාවගේ ද අපෙක්‍ෂාවයි. මෙහි ධර්මය යනු යුක්ති ධර්මයයි. එය කි‍්‍රයාත්මක වන්නේ පාලකයාගේ අපක්‍ෂපාතිත්වයෙනි. ඡන්ද දොස භය මොහ යන සතර අගතියෙන් දුරුව අපක්‍ෂපාතී වීමම පාලකයකුගේ ධාර්මිකත්වය යනුවෙන් අදහස් වෙයි. වරප‍්‍රසාද හා අයිතිවාසිකම් බෙදී යාමේදී මෙන්ම නීතිය කි‍්‍රයාත්මක කරවීමේදී ද යුක්ති ධර්මය මුල් තැනට පත්විය යුතුය.
පාලකයන් බල අරගලවල පැටලී එනිනෙකා කා කොටා ගන්නා විට ජන කොටස් ද ඒ මග ගැනීම අරුමයක් නොවනු ඇත. මහ ගොනා ඇදට යද්දී ඔහු අනුගමනය කරන අනෙක් ගොන් රැුළ ද එසේම යතැයි බුදුන් පවසා ඇත්තේ එබැවීනි. යහපාලනය ලිච්ඡුවි පාලනය ආදී නම්වලින් හංවඩු ගසා ගත්තත් පාලකයන් අතර භේද භින්නතා පවතී නම් එතැන ලිච්ඡවි පාලනයක් ඇතැයි පැවසීම බුදුන් වදාළ අපරිහානීය ධර්මවලට කරන නිග‍්‍රයකි. ලිච්ඡවි පාලනයේ පැවතුනු තවත් වටිනා ලක්‍ෂණයක් අවසාන වශයෙන් මෙහිදී අවධාරණය කළ යුතුය. එනම් ජනවර්ග සතුව මෙතෙක් පවත්නා නීතිරීති සිරිත් විරිත් එසේ තිබෙන්නට හැර වෙනත් එබඳු නව නීතිරීති චාරිත වාරිත‍්‍ර ආදියට ඉඩ නොතැබීමත්ය. එය බහුවාර්ගික රටක ජනවර්ගයන් අතර ගැටුම් ඇති වීමේ හේතු නැති කිරීමකි.
බල ලොභිත්වය දේශපාලන නායකයන් තූළ ඉහවහා යාම නිසා එක් එක් වර්ගයකට නායකත්වය දෙන්නවුන් තම බලය තහවුරු කරගැනීමේ පියවරක් වශයෙන් තම වර්ගය අන් වර්ගයන්ට වඩා ඉහළින් තැබීමට කි‍්‍රයා කරනු ද පෙනේ. බොහෝ විට ජතිවාද හා වර්ගවාද බිහි වූයේත් තහවුරු වූයේත් ඒ ඒ සමාජ නායකයන් හා ආගමික නායකයන් හරහාය. දේශපාලනයේ චේවා වෙනත් ජන කණ්ඩායමක චේවා නායකයා ආදර්ශමත් වීම අත්‍යවශ්‍යය. ඔහුගේ ආදර්ශය නායකත්ව ලක්‍ෂණයන්ගෙන් ලබා දෙන්නක් මිස ජනතා ද්‍රෝහී ලක්‍ෂණයන්ගෙන් නොවිය යුතූය- දාන පි‍්‍රයවචන අර්ථචරියා සමානාත්මතා නමින් එන සතර සංග‍්‍රහ වස්තූවක් – බුදුදහමින් පැනවී ඇත්තේ නායකත්ව ලක්‍ෂණයක් වශයෙනි.
Previous Post :Go to tne previous Post
Next Post:Go to tne Next Post