Apr 22, 2018

ව්‍යවස්ථා වෙනසකින් උතුරේ ප්‍රශ්න සමනය වෙයිද?


ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ත්‍රස්තවාදීන් ගෙන ගිය කුරිරු ත්‍රස්තවාදී යුද්ධය වසර තිහක් පමණ ගත වීමෙන් පසු අවසන්වී ඇත. උතුරු නැගෙනහිර දෙපළාතේ දිගු කාලයක් තිස්සේ නොවිසඳුන ප්‍රශ්නයක් තිබෙන බව ද්‍රවිඩ දේශපාලන නායකයින් නිරන්තරයෙන් පවසයි. ඒ වෙනුවෙන් රටේ හැට හැත්තෑ දහසක ජීවිත බිලිගත් අතර රටේ ආර්ථික ගමන දශක තුන හතරකින් ආපස්සට ඇද දමා ඇත. ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම ප්‍රකාරව දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවා එම පළාත් සභාවලට විශාල බලතල ප්‍රමාණයක් විමධ්‍යගත කළහ.
එහෙත් ද්‍රවිඩ දේශපාලන නායකත්වය පවසනුයේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් තවත් බලතල ඔවුනට ලබා දිය යුතු බවයි. අනෙක් අතට සත්‍ය ලෙසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකිරීම මගින් උතුරු නැගෙනහිර දැවෙමින් පවතිනවා යැයි කියන ප්‍රශ්න නිරාකරණය කරගත හැකි නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම ඔවුනට මෙන්ම පොදුවේ රටවැසියන්ට ද සුබදායක ය. ඵහෙත් ඔවුන් කියන ප්‍රශ්නය ව්‍යවස්ථා වෙනසකින් සමනය වේ ද යන්න පිළිබඳව නිවැරදි අවබෝධය ලබා ගත යුතුව ඇත. ඒ සඳහා උතුරේ දෙමළ සමාජයේ පවතින සංකූලතාවයත්, ඵහි ඉතිහාසයත් අධ්‍යයන කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් බව නොඅනුමාන ය. 
 බ්‍රිතාන්‍ය පාලක සමයේ සිංහල දෙමළ සමාජ ඈත් කොට තබමින් සිය පාලනය පහසු කරගත් බව නොරහසකි. එම වකවානුව  බ්‍රිතාන්‍ය  පාලකයන්ගේ ආශිර්වාදය ඇතිව ද්‍රවිඩ සමාජයේ නායකයන් බවට පත් වූයේ එම සමාජයේ වංශාධිපතීන් ලෙස පිළිගැනීමට ලක්ව සිටි වෙල්ලාල කුලය නියෝජනය කළ නායකයන් පමණි. හින්දු දහමේ බමුණු ඉගැන්වීම් අනුව පිළිගත් බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය හා ක්ෂුද්‍ර යන කුල හතර හෙවත් වර්ණාශ්‍රම ධර්ම එම සමාජයේ මුල් බැසගත් සංස්කෘතියක් බවට පත්ව තිබිණි.
ඉන්දියාවේ ආරම්භ වූ එම ක්‍රමය ඊටත් වඩා බෙදීම්වලට ලක්ව සංකීර්ණ ලෙස ලාංකික දෙමළ සමාජය තුළ ක්‍රියාත්මක විය. ඉන්දියාවේ හරිජන (untouchables) කොටස් මෙන්ම ලංකාවේ වෙල්ලාලීන් හැර අන් අය පහත් ජන කොටස් ලෙස ඔවුන් සලකන ලදී. ඒ තුළ එම සමාජ විශාල ජන කොටසක් දැඩි පීඩාවකට සහ අසහනයකට පත්ව සිටී. 
ද්‍රවිඩ කුල භේදය කොතෙක් බරපතළ ද යන්න පිළිබඳ ටික කලකට පෙර ආචාර්ය සෙබස්තියන් රාජලිංගම් මහතා උදාහරණ ගණනාවක් සහිතව ලිපියක් පළ කළේ ය. ද්‍රවිඩ ජාතික ශාන්තුවරයෙකු හා වීරයකු ලෙස සලකන ආරුමුග නාවලර් (1822-1879) ගුරුවරයකු ලෙස සේවය කළ යාපනය මහා විද්‍යාලයේ ගුරු සේවයෙන් ඉල්ලා අස් වූයේ එවකට විදුහල්පතිව සිටි පීටර් පර්සිවල් විසින් පහත් කුල දරුවන් එම විද්‍යාලයට ඇතුළු කිරීමට ගත් තීරණය නිසා ය. ඊට වසර 30 කට පසු යාපනයේ ඇති වූ නියංසාය වකවානුවේ ඔහු යාපනයේ වෙල්ලාල කුලයේ මිනිසුන්ට පමණක් ආහාර බෙදා දීමේ ප්‍රබල ව්‍යාපෘතියක් පවත්වාගෙන ගියේ ය. 
1923 සිටුමලෙයි දී සහ 1931 කන්ගානයි හි දී බරපතළ ගැටුම් දෙකක් ඇති විය. ඊට හේතුව වූයේ පාරම්බා කුලයේ ද්‍රවිඩයන් වෙල්ලාල කුලයේ ජනතාවට හැර අනෙකුත් කුලවල ජනතාවගේ අවමංගල්‍ය කටයුතුවල දී බෙර වාදනය කිරීමයි. එය වරදක් බව පවසමින් වෙල්ලාලිහු ඔවුන්ට ප්‍රහාර එල්ල කළහ.
1929 ජුනි මාසයේ උතුරේ තවත් ගැටුම් මාලාවක් ඇති වූයේ රාජ්‍ය අනුග්‍රහය මගින් පවත්වාගෙන යන පාසල්වල සියලු දරුවන්ට පුටු බංකුවල වාඩි වීමට අවස්ථාව ලබා දිය යුතු බවට ආණ්ඩුවෙන් නිකුත් කළ නිවේදනය නිසා ය. අඩු කුල දරුවන් වාඩි විය යුත්තේ පොළොව මත බවට පවසමින් වෙල්ලාලින් ජන සංහාරයක් කරමින් එම රාජ්‍ය නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියේ ය. එහෙත් එම වකවානුවේ යාපනයේ පාසල්වල ඉගෙනගත් සිංහල සිසුන් ඔවුන් කිසි වෙනසකින් තොරව පුටු හෝ බංකු මත වාඩිවී සම මට්ටමින් සහ සාමකාමී ලෙස අධ්‍යාපනය ලැබූහ. 
ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා දෙමළ ඉහළ කුලවතුන් සහ සිංහල ප්‍රභූ පිරිස් අතර සමගිය ගොඩනැගීමට වෙහෙසක් දැරූ අයෙකු වුවත් හින්දු සමාජයේ පැවති කුල ක්‍රමයෙන් මිදීමට ඔහුට කිසිදු අභිලාෂයක් නොතිබූ බව රාසලිංගම් මහතා පවසයි. හින්දු කුල ක්‍රමයේ පදනමින් තොර දෙමළ සමාජයක් පැවතිය නොහැකි බව රාමනාදන්ගේ දැඩි ස්ථාවරය විය. මනු නීතියේ සඳහන් පරිදි දෙවියන් විසින් තෝරනු ලැබූ ඉහළ කුලවතුන්ගේ නියමයට අනුකූලව කුල හීනයන් කටයුතු කළ යුතු ය යන්න ඔහුගේ සමාජ පදනම විය. පොන්නම්බලම් රාමනාදන් 1920 දශකයේ දෙවතාවක් ලන්ඩනයේ යටත් විජිත ලේකම් කාර්යාලයට ගොස් දෙමළ කුල පදනම ව්‍යවස්ථාවක් මගින් ලංකාව තුළ නීතිගත කරන ලෙස ඉල්ලා සිට ඇත. සියලුම හින්දු කෝවිල් ඉදිකිරීම් හා පාලනය කිරීම් කරනුයේ වෙල්ලාලින් විසින් වන අතර පූජක බ්‍රාහ්මීන් නඩත්තු කරනු ලබන්නේ ද ඔවුන් විසිනි.
යාපනයේ නගර සභාව පිහිටවූ දින පටන් එහි බලයට පත්වූයේ දෙමළ හින්දු සමාජයේ ඉහළ වංශාධිපතීන් ලෙස සැලකෙන වෙල්ලාල කුලයේ පවුල්වල සාමාජිකයන් පමණි. බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව ගෙන ගිය සටනේ දී සිංහල නායකයින් සමඟ එකට එකතුවී සටන් කළ පොන්නම්බලම් අරුණාචලම්ගෙන් පසු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව උතුරු පළාත් සංවර්ධනය කිරීමෙහිලා විශේෂ කැපවීමකින් යුතුව කටයුතු කිරීම ආරම්භ කළේ ය. සර් ජෝන් කොතලාවල, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජී.ඊ. සිල්වා, ජී.සී.එස්. කොරයා, ආර්.එස්.එස්. ගුණවර්ධන ඇතුළු කණ්ඩායම යාපනයට ගොස් සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය කරුණු අධ්‍යයනය කරන ලදී. ඒ අනුව 1948 කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කළ අතර යුද සමයේ පැවති හමුදා රෝහල මහ රෝහලක් ලෙස නවීකරණය කොට ආරම්භ කළේ ය. උතුරේ වරායන් යළි ආරම්භ කළ අතර කරයියුර් පැල්පත් ඉවත්කොට ජනතාවට නිවාස ඉදිකිරීම ද ආරම්භ කළේ ය.
ඒ වනවිට යාපනයේ සිටි කුල හීන ජනතාව නියෝජනය කිරීමට යාපනයේ නගර සභාව තුළ එකදු මන්ත්‍රීවරයකුවත් නොසිටියේ ය. බණ්ඩාරනායක මහතා පළාත් පාලන ඇමැතිවරයා වශයෙන් යාපනය නගර සභාව මහ නගර සභාවක් බවට 1949 දී පත් කරන්නට යෙදුනු අතර දෙමළ වෙල්ලාල කුලයේ නායකයින් ඊට එරෙහි විය. ඊට හේතු වූයේ බල ප්‍රදේශය පුළුල් වීම තුළ පීඩිත කුල නියෝජනය කරන ජනතාවට සිය නියෝජිතයින් යාපනය නගර සභාවට පත්කර ගැනීමට ඉඩකඩ ලැබෙන ආකාරයෙන් කොට්ඨාශ දෙකක් ඇති කිරීමය.
යාපනයේ ජීවත් වූ වෙල්ලාල කුලයේ සියලු දෙනාම ඊට එරෙහිව යුද ප්‍රකාශ කළ අතර 1950 යාපනය නගරාධිපතිව සිටි කතිරවේලු පොන්නම්බලම් එම තීරණයට එරෙහි වෙමින් කුල පීඩිත පන්තියට වෙනම නියෝජනයක් ලබා දෙන්නේ නම් වෙල්ලාලයන්ට ද ඔවුන්ගේ ආරක්ෂාව සඳහා වෙනම නියෝජනයක් ලබා දෙන ලෙසට උද්ඝෝෂණය කළේ ය. උතුරේ ජනතාව බණ්ඩාරනායකට එරෙහිව පෙළ ගැස්සුවේ වෙන කුමන හේතුවක් නිසාවත් නොව එහි සිටි කුල පීඩිතයන්ට නගර සභාවේ නියෝජනයක් ලබා දෙමින් සමාජ සාධාරණත්වය ඇති කිරීමට කටයුතු කළ නිසා බව මොනවට පැහැදිලි වේ.
1947 මැතිවරණයේ දී ජී.ජී. පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ කොන්ග්‍රසය වවුනියාව ආසනය හැර උතුරේ අනෙකුත් ආසන ජයගත් අතර එක්සත් ජාතික පක්ෂය සමඟ ළඟ සබඳකම් පැවති සී. සුන්දරලිංගම් මහතා වවුනියාව ආසනයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජයග්‍රහණය කළේ ය.
නිදහසට පෙරත් නිදහසින් පසුත් දෙමළ පක්ෂ නායකයින් 50 ට 50 යෝජනාව ඇතුළු ද්‍රවිඩ අයිතිවාසිකම් පිළිබඳ හඬ නගද්දී ද්‍රවිඩ ජනතාව අතරේම සිටි කුල පීඩනයෙන් හෙම්බත් වූ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කතා කිරීමට ද්‍රවිඩ නායකයකු නොවීය. එම ජනතාව පත්ව සිටි අසරණ භාවය වචනයෙන් කියා නිම කළ නොහැකි ය. ඔවුන් කෝවිලකට ඇතුළු වීම, ඉහළ වංශිකයකුගේ නිවසකට ඇතුළු වීම, එවැන්නකුගේ ළිඳකින් ජලය පානය කිරීම යනාදිය ජීවිතය මරණයෙන් කෙළවර කර ගැනීමට පවා හේතු කාරණා වූ අපරාධ ලෙස පිළිගැනුනේ ය. 
ඔවුන්ට දේශපාලන ක්ෂේත්‍රය තුළ කිසිදු නියෝජනයක් හෝ ශක්තියක් නොවීය. 1948 අප්‍රේල් මස වන්තාර්ති හින්දු විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් වඞ්ඩුක්කඩෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කනගරත්න හින්දුන්ගේන් ඉල්ලා සිටියේ කුලීන ඡනතාවට හින්දු කොවිල්වලට ඇතුළු වීමට අවසර දෙන ලෙසට බව පුවත්පත් වාර්තා කළේ ය (ලංකාදීප 1948.04.16). එම කෝවිල්වල සත්ව ඝාතනය නතර කරන ලෙසට ද ඉල්ලා ඇත. හින්දු කෝවිල් තුළ සතුන් ඝාතනය කරනවා දුටු ක්‍රිස්තු භක්තික බැන්ට්බැට්න් සාමිවරයා පවසා ඇත්තේ ඔහු බලවත් චිත්ත කම්පාවට පත් වූ බව ය.
1940 දශකයේ දී පවා උඩුකය වැසෙනසේ හැට්ට ඇඳීම පීඩිත කුලයේ කාන්තාවන්ට තහනම් විය. යාපනය ප්‍රදේශයේ කුල පීඩිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධාන කිහිපයක් අවස්ථා ගණනක දී මතු විය. ජොවිල් පෝල් හා එම්.සී. සුබ්‍රමනියම් විසින් එක්දහස් නවසිය හැට ගණන්වල ආරම්භ කළ ව්‍යාපාරය වෙල්ලාලයන් විසින් පහර දී කඩාකප්පල් කරන්නට විය. ඔවුන්ට ගොවිතැන් කරගෙන ජීවත් වීමට හෝ රජයේ සියලු ඉහළ නිළ තල මෙහෙය වූ වෙල්ලාලීන් ඉඩ නොදුන්හ. රැකියාවේ ස්වභාවය අනුව ද අන්තර් කුල ප්‍රභේදයක් නිර්මාණය වී ඇත. “වන්නර්” කුලයේ ස්ත්‍රීන් වෙල්ලාල කුල ස්ත්‍රීන්ගේ පමණක් කොණ්ඩ මෝස්තර කටයුතු කළ යුතු අතර “අම්බට්ටාර්” යන කුලයේ වගකීම වූයේ වෙල්ලාල නොවන අඩු කුලවල ස්ත්‍රීන්ගේ කොණ්ඩා මෝස්තර සැකසීම ය. කුල දෙකක් අතර විවාහ සපුරා තහනම් ය. 
පාසල් ජනසතු කිරීම තුළ රටේ සෑම ප්‍රදේශයකම දුගී දුප්පත් දරුවන්ට අධ්‍යාපනය සඳහා යම් සෙතක් සිදු වුවත් දෙමළ ජනයා සිටින සමාජය තුළ එසේ නොවීය. එකල සිටි කිසිදු සමාජවාදී, කොමියුනිස්ට්වාදී හෝ මාක්ස්වාදී නායකයකු මෙම අවාසනාවන්ත තත්ත්වය අවබෝධ කරගෙන නොතිබූ නමුත් මනා අවබෝධයකින් කටයුතු කළ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා කුල පීඩිත සංවිධානයක් වූ මහා සභාවේ ඉල්ලීම මත යාපනය අර්ධද්වීපය තුළ ඔවුන් සඳහා පාසල් 15 ක් ආරම්භ කළ අතර එම ජන කොටස් අතරින් ගුරුවරු 200 කට පත්වීම් ලබා දීම තුළ ද දෙමළ වෙල්ලාලීන් විසින් බණ්ඩාරනායක දෙමළ සමාජය විනාශ කිරීමට පැමිණි යක්ෂයෙක් යන ආකල්පය දෙමළ සමාජය තුළ නිර්මාණය කරනු ලැබීය. අවසානයේ දෙමළ වෙල්ලාලීන් විසින් බණ්ඩාරනායක පතුරු ගැසුවේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම යන මාතෘකාව ඔස්සේ වුවත් වැඩිකල් නොගොස් දෙමළ භාෂාවට සම තත්ත්වය ඔහු විසින් ලබාදුන්හ. දෙමළ වංශාධිපතීන් ලෙස සැලකෙන වෙල්ලාලීන් සිය සමාජය තුළ පැවති කුල පීඩනය හා කුල වාදයට එරෙහිව ගෙන ගිය අරගලයට හේතු ගණනාවක් මත ජාතිවාදී අර්ථනිරූපණ ලබා දෙමින් බණ්ඩාරනායක විරෝධය ගොඩනැගූහ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා බවට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූවේ රත්නජෝති සරවනමුත්තු ය. ඒ 1937 සහ 1941 දී ය. එවක් පටන් මේ දක්වා කොළඹ නගර සභාවේ නගරාධිපතිවරු ලෙස සිංහල 12 ක් ද, ද්‍රවිඩ 5 ක් ද, මුස්ලිම් 6 ක් ද බර්ගර් එක් අයෙක් ද පත්ව ඇත. එම සිංහලයන්ගේ කුල මොනවාද යන්න ජනතාව නොදනී. එහෙත් යාපනය මහ නගර සභාවේ වෙල්ලාලයන්ගෙන් පිට අයට පත් වීමේ අවකාශයක් ලැබී නොමැත.
සමහරුන්ගේ මතය වන්නේ 1956 බණ්ඩාරනායක මහතා  සිදුකළ යම් භාෂා ප්‍රතිපත්ති පිළිබඳ වෙනස්කම් හේතුවෙන් ඊළාම් ව්‍යාපාරය ආරම්භ වූ බවයි. එහෙත් යථාර්ථය නම් එම ඊලාම්වාදය ඇති කරන ලද්දේ 1931 තරම් ඈත කාලයේ පොන්නම්බලම් අරුනාචලම් විසින් බවයි. ඔහු පනහට පනහ මතවාදය ආරම්භ කළ වර්ෂය වූයේ 1931 ය. ඔහු ෆෙඩරල් පක්ෂය ආරම්භ කළ අතර පසුව එය දෙමළ ජාතික සන්ධානය බවට පත් විය. 1930-40 දශකයේ සිටම ඔවුන්ගේ උතුරේ දේශපාලන සංවිධාන ගොනුවී තිබුණේ කුල ක්‍රමය පදනම් කරගෙන ය. 1956 මහ මැතිවරණයේ දී කයිට්ස් ආසනය හැර සියලු ආසන ජයගත්තේ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය (All Ceylon Tamil Congress - ACTC) පක්ෂයෙන් තරඟ වැදුණු වෙල්ලාලින් පමණි.
කයිට්ස් ආසනයේ ජීවත් වූ අති බහුතරයක් අන් කුලවල අය විය. බණ්ඩාරනායක මහතා ද්‍රවිඩ පහත් කුල වශයෙන් සැලකූ තැනැත්තන්ගේ පීඩනය පිළිබඳ හොඳ අවබෝධයක් ලත් අයකු වශයෙන් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ දැමීමටත් ඔවුන් වෙනුවෙන් නියෝජනයක් ලබාදීමටත් කටයුතු කිරීම වෙල්ලාලින්ගේ දැඩි කෝපයට ලක් විය. කුල හීනයන් ලවා වංශවතුන් පාගා දැමීමට ගත් උත්සාහයක් ලෙස ඔවුන් එය සැලකූහ. 
ඒ හැර 1956 රාජ්‍ය භාෂාව සිංහල භාෂාව බවට පත් කිරීමට එරෙහිව ද්‍රවිඩ සමාජයේ ලොකු නැගී සිටීමක් සිදු නොවීය. බොහෝ වංශාධිපතීන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා පරිචයක් ලබා සිටියහ. 1956 දී ගල්ඔයේ දී ඇතිවුනු ජාතිවාදී අරගලයට භාෂා ප්‍රශ්නයක් සම්බන්ධ කිරීමට උත්සාහ කළත් සත්‍ය ලෙසින් එම අරගලයට මුල් වූ එකම කාරණය වූයේ වාරි ව්‍යාපෘතියක් මගින් ඉඩම් බෙදාදීමේදී යම් ජන කොටස්වලට අසාධාරණයක් වනවා යැයි යන ආකල්පය මිස වෙනත් කරුණක් නොවීය.

SHARE THIS

Author:

If you have any problems or have comments or suggestions for improving our web, please contact ceylonmuslim24@gmail.com we will do our best to assist you | Chief Edito, CeylonMuslim Media Network