Apr 20, 2018

බහුතර ජාතිවාදයේ නව ගමන් මග හා ද්විත්ව​ ලාබ අරමුණු කරගත් දේශපාලනය


අෆාන් අබ්දුල් හලීම් 
අෆාන් අබ්දුල් හලීම්
ජාතිවාදියා මානසික පිස්සෙකි.” යනුවෙන් ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමාණන් 1950දී පමණ කියූ ප්‍රකාශය කෙතරම් කිසියම් මහ ජාතියක් තුළ පවතින තමා උසස්ය, තමාට සුළු ජාතියේ කටයුතුවල ආධිපත්‍යයක් තිබේය, තම ජාතිය සිළු ජාතීන්ට වඩා ඒකීය හා විශේෂීය යනාදී සිතුවිල්ලට දමිළ භාෂාවෙන් “පේරිනවාදම්” යන වචනය භාවිත වන අතර ඒ සඳහා වූ විශේෂ වචනයක් සිංහල භාෂාවේ නොමැති නිසා ඒ වෙනුවෙන් “බහුතර ජාතිවාදය” යන්න මෙහිදී යොදාගෙන ඇත. සාධාරණද යන්න වර්තමානයේ පවතින බහුතර ජාතිවාදයේ බලපෑම් ම තාත්විකව ඔප්පු කරමින් තිබේ.
ආචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ජාතිවාදය වර්ග දෙකකට බෙදා වෙන්කර දක්වයි.
පළමු වර්ගය නම් චින්තනයේ වූ ජාතිවාදය.
දෙවැන්න දේශපාලන ක්‍රියා මාර්ගවල පවතින ජාති වාදය.
චින්තනයේ වූ ජාතිවාදය වනාහි කිසියම් පාර්ශවයක් තම ජාතිය, ආගම, භාෂාව, වර්ණය, ඉතිහාසය, සංස්කෘතිය යනාදියෙහි සියල්ල හෝ ඉන් සමහරක් අනෙක් පාර්ශවයේ එම සාධකවලට වඩා උසස් යැයි සැලකීමයි. මෙයට ලෝකයේ වූ කිසිම මහ ජාතියක් හෝ සුළු ජාතියක් ව්‍යතිරේකයක් නොවේ.
නමුත් දේශපාලනිකව ක්‍රියාත්මක කරවන ජාතිවාදය වනාහි, එය තමාට පක්ෂ නොවූ අනිත් පාර්ශවය අපහාසයට ලක් කිරීම, පහත් අයුරින් සැලකීම, ප්‍රචණ්ඩත්වය උපයෝගී කර ගැනීම,ඔවුන් සමඟ කටයුතු කිරීමේදී ඉවසීමෙන් තොරව කටයුතු කිරීම,පැවැත්ම සඳහා වූ අයිතිය ඇත්තේ තමාට පමණක් සේ කටයුතු කිරීම වැනි නොයෙකුත් ක්‍රියා අන්තර්ගත වේ.
නමුත් කවරකු කෙරෙහිවත් විරෝධකාරී ක්‍රියාවක් ලෙස නොනැගෙන (එසේ නැගිය නොහැකී) චින්තනයේ වූ ජාතිවාදය පවා මුස්ලිම්වරුන් තුළ නොතිබිය යුතුයි යන්න අවධාරණය කරමින් කෙතරම් උත්සහයන් එම සමාජය තුළ දියත් වෙනවාද යන්න බහුතර ජාතිවාදයේ බලපෑම් ඇති පරිසරයක දේශපාලනයේ නියුතු පුද්ගලයින් තේරුම් ගැනීමට බධා කරන සාධක දෙකක් හුවා දැක්විය හැක.
01. තමාව ආරක්ෂා කර ගැනීමට තමාම කැමති වූවත් එසේ තමා ආරක්ෂා කරගන්නට නොහැකි තරමට ප්‍රබල බහුතර ජාතිවාදයේ සැඩ පහර අතර සිරවී සිටීම.
02. මුස්ලිම් සමාජය තුළ කුමක් සිදු වන්නේදැයි ඍජුවම දැන ගැනීමට බාධා කරන භාෂා ප්‍රශ්නය
මේ කාරණා දෙකම ජවිපය වැනි පක්ෂයකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පවා ප්‍රශ්නය ඊට අනුකූලව දැකීමෙන් වලකා බහුතර ජාතිවාදී ගති ලක්ෂණයන් ඇතිව දැකීමට පොළඹවයි.
දෙරණ නාලිකාවේ දින කිහිපයකට පෙර විකාශනය වූ සාකච්ඡාවක දිගන ප්‍රදේශයේ මුස්ලිම්වරුන් වෙත එල්ල වූ අසාධාරණ ක්‍රියාවන් මුස්ලිම්වරුන් හා සිංහල අය අතර ඇතිවූ සිද්ධියක් ලෙස විජිත හේරත් පැවසීම හුදෙක් අහඹු වචන මාලාවක් නොවේ.ඒ වනාහි බහුතර ජාතිවාදයේ සැඩ සුළං අතර අතරමං වී ඇති බව පෙන්නුම් කරන කාරණාවකි.
ඊටත් එහා ගොස් එය තිහාරිය, බේරුවල වැනි ප්‍රදේශවල පසුගිය කාලයේ මුස්ලිම්වරුන් අතරම සිදු වූ රණ්ඩු සරුවල් හා සම්බන්ධකර, “දැන් එය මුස්ලිම්වරුන් හා සිංහල අය අතර ඇති වූවක් වුවත් මුස්ලිමවරු ඔවුන් අතරත් ගැටුම් ඇතිකරගන්නා පිරිසකි” යන සංසන්දනය තුළින් දිගන සිදුවූ අසාධාරණයන්ට ව්‍යංග​ව තම අනුමැතිය ලබා දෙයි. සාමාන්‍යයෙන් ජාතිවාදය ආයුධයක් කරගන්නා කෙනෙක් මෙය පැවසුවානම් එය වෙනම කතාවකි. නමුත් ජවිපය වැනි පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම මෙසේ පැවසීම බරපතල කාරණයකි.
“දැන් සිදුවී තිබෙන දිගන සිද්ධිය වනාහි මුස්ලිම්වරු එක පැත්තකත් සිංහල අය එක පැත්තකත් ඉඳ සිදු වූවක් වුවත්, මුස්ලිම්වරු අතරම ඇති ඔවුන්ගේ නිවෙස තුළ වූ ගැටුම් නැවතී ඇත්තේ තාවකාලිකවයි. එය ඇතුලින් දුම් දමමිනුයි තිබෙන්නේ” යන ආකාරයේ විජිත හේරත්ගේ ප්‍රකාශය සැබැවින්ම ජාතීන් අතර යහ පැවැත්ම උදෙසා හෝ සුහදත්වය හේතුවෙන් හෝ නැගුණු ප්‍රකාෂයක් හෝ නොවේ යන්න නම් ස්ථිරය. අසාධාරණ ලෙස ප්‍රහාරයට ලක් වූවන්ව ප්‍රහාරය මෙහෙය වූවන් හා සමාන කොට කතා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි යන්න වටහා ගැනීම ඔහුගේ වගකීමකි.
“මේ රටේ සිංහල ජාතිය වන අපි සිංහල ජාතිවාදයට එරෙහිව කතා කරන්නෙමු. නමුත් මුස්ලිම් හෝ දමිළ දේශපාලන නායකයින් හෝ ආගමික නායකයින් (දමිළ ආගමික නායකයින් සිංහල ජාතිවාදයට එරෙහිව කතා නොකළත්) මුස්ලිම් ජාතිවාදයට එරෙහිව හෝ දමිළ ජාතිවාදයට එරෙහිව කිසිවිටෙකත් කතා නොකරයි. ඔවුන්ද කතා කරන්නේ සිංහල ජාතිවාදයට එරෙහිවයි. මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍ය නම් අපි අපේ අය ගැන කතා කරනවාක් මෙන් ඔවුනුත් ඔවුන්ගේ අය ගැන කතා කළ යුතුයි.” යන්නයි රටේ ප්‍රශ්නයට විසඳුම කුමක්දැයි නැගුණු පැනයට විජිත හේරත් දුන් පිළිතුර.
මෙහි සුළුතරයින්ගේ ජාති වාදයත් බහුතරයින්ගේ ජාති වාදයත් එකම තරාදියක දෙපැත්තේ දමා දෙකම එකම මට්ටමේ තබා සම භයානකත්වයක් ඇත්තක් සේ ඔහු කතා කරයි. වාමාංශික ප්‍රතිපත්ථියේ “සමානතා චින්තනය” වරද්දා ගන්නා තැන්වලින් මෙයද එකකි.එනම් තමා කළ දෙය අනිත් අයත් කළ යුතුයි, තම සමාජය තුළ ඇති ජාතිවාදයට එරෙහිව තමා කතා කරන්නාක් මෙන් අනිත් සමාජයන් තුළ ඇති ජාතිවාදය පිළිබඳව ඔවුන් කතා කළ යුතුයි යනුවෙන් පැවසීම ඒ චින්තනය පෙන්නුම් කරන්නකි.
ප්‍රශ්නයේ මූල බීජය (Root Cause) බහුතර ජාතිවාදය බැවින් එයින් ආරක්ෂා වීමට වූ ආත්මාරක්ෂක පලිහ (Defensive tool) ලෙස සුළුතරයින් ජාතිවාදය අතට ගන්නා බව වාමාංශික ප්‍රතිපත්ථිය තුළින් පහසුවෙන් අමතක කර දමයි. කිසියම් ප්‍රශ්නයක මූල බීජය පිළිබඳව, සම්බන්ධ වූ සියළු පාර්ශවයන් කතා කිරීම ස්වභාවයයි. විසඳුමකට වූ මාර්ගයන් හඳුනා ගත හැකි වන්නේ මූල බීජය කුමක්ද යන්නෙහි වැඩි අවධානයක් යොමු කොට කතා කරන විටයි. මූල සාධකයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් බිහි වූ ප්‍රතිදේහයන් , මූල සාධකය හා සම තරාතිරමේ තබා සැසඳීම ඇත්තෙන්ම ලොකු වැරැද්ද්කි.
කිසියම් රටක බහුතරය, ජන වාර්ගික ජාතිකත්වය (Ethno-Nationalism) තුළත්, බහුතර ජාතිවාදය (Chauvinism) තුළත්,බහුතර වාර්ගික දේශපාලනය (Ethnocracy)තුළත් තමාව අනුවර්තනය කර ගන්නා විට සුළුතරයින් පමණක් ප්‍රජාතාන්ත්‍රික පිටියෙහි කිසිඳු විරෝධතාවක් නොපෙන්වා සිටිය යුතුයි යැයි බලාපොරොත්තු වීම කෙසේ නම් උචිත විය හැකිද?! මා මෙයින් සුළුතරයින්ගේ ජාතිවාදය සාධාරණීකරණය කරන්නට එනවා නොවේ. නමුත් බහුතර ජාතිවාදය ඉදිරියේ ඒවා සැලකිය හැකි තරමේ කිසිවක් නොවේ යන්න සපේක්ෂතාවන්ට එහා ගොස් චින්තනය කරන කාටත් පහසුවෙන් තේරුම් ගත හැක්කකි.
සති කිහිපයකට පෙර මනෝ ගනේෂන් පවසා තිබූ මතයන්ට වඩා තරප්පු ගණනාවක් ඉහලින් සිට ජවිප පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසා ඇත්තේ මුස්ලිම්වරුන්ව මේ රටේ මධ්‍යම දිය දහරාවෙන් නොසලකා හරින ආකාරයේ අදහස්ය.
සිංහල ජාතිවාදය ලෙස සිංහල අය හා ජාතිවාදය ගැන පමණක් එක් කර කතා කරන ඔහු මුස්ලිම්වරුගේ කතාව එන විට පමණක් “මුස්ලිම් ජාතිවාදය,සහ මුස්ලිම් අන්තවාදය එක්ව කතා කිරීම සැබැවින්ම අහඹු සිදුවීමක් නොවේ. විජිත හේරත් පැහැදිලිවම පවසන්නේ මුස්ලිම්වරුන්ට එරෙහිව මේ රටේ යමක් සිදු වන්නේ නම් එය මුස්ලිම් ජාතිවාදය හා මුස්ලිම් අන්තවාදය හේතුවෙන් ඔවුන්ම සොයාගත් දෙයකි යන බහුතර ජාතිවාදී ප්‍රවෘත්තියයි.
“මේ රටේ බහුතර ජනතාව සමඟ ඔවුන් නිසියාකාරව ජීවත් විය යුතුයි නම් බහුතර ජනතාවගේ සිත් නොරිදන අයුරින් ජීවත්වන මගක් ඔවුන් සිතා බැලිය යුතුයි” යන මුස්ලිම් සමාජයට විජිත හේරත් ලබාදෙන අවවාදය වනාහි “ඔබ ප්‍රශ්නයක් නැතිව ජීවත් විය යුතුයි නම් මට කැමති අයුරින් සිටිය යුතුයි ” යන චින්තනයේ නිරූපණයකි.
බහුතර ජාතිවාදයේ ඉතා වැදගත් ලක්ෂණයක් වන්නේ දේශප්‍රේමීබවත් (Patriotism ), සිවිල් ජාතිකවාදයත්(Civic Nationalism), වාර්ගික ජාතිකත්වයත් (Ethno-Nationalism) අතර වූ වෙනස නැතිකර දැමීමයි. දේශප්‍රේමීත්වය යනු කෙනෙක් තම රටේ නීතියට ගරු කර, එයට විශ්වාසවන්තව කටයුතු කර, එයට ද්‍රෝහී නොවී, එය පාවා නොදී සිටීමත් තම රටේ සිදුවන යහපත් දෙය යහපත් ලෙසත්, අයහපත් දෙය අයහපත් ලෙසත් වෙන්කර හඳුනාගෙන රටට ආදරය කිරීමයි.ජාතිකත්වය යනු උක්ත රටේ වැසියන් යැයි සම්මත අනන්‍යතාවක් ඇතිව ප්‍රකාශ කරන හැඟීමත්, හොඳ හෝ නරකින් ඔබ්බට ගොස් මගේ රට නිවැරදිය යන ස්ථාවරයත්, අනෙක් රටවල්වලට වඩා උසස්ය උතුම්ය යන සිතුවිල්ලයි. මෙය සිවිල් ජාතිකත්වය යනුවෙනුත් හැඳින්විය හැකියි.
මහා ජාතිවාදය වනාහි දේශප්‍රේමීත්වයත්, සිවිල් ජාතිකවාදයත් (Civic Nationalism) යන දෙකම එක්කොට ජනවාර්ගික ජාතිකවාදය යන මාතෘකාව තුළට රැගෙන එයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වන කෙනෙක් ඔහු කවරෙක් වුණත් සිංහල බෞද්ධ සංස්කෘතික අචාර ධර්මයන්ගේ අගයන්ට අනුකූලව හැඩගැසෙන තාක් ඔහු දේශප්‍රේමියකු ලෙස හෝ ජාතිකවාදී චින්තනය ඇත්තකු ලෙස හෝ නොසලකයි.හොඳ මුස්ලිම් නරක මුස්ලිම් යන වචනයන් භාවිතයට එන්නේ මේ පසු බිමෙහි හිඳයි.
දෙරණ සාකච්ඡාවේදී විජිත හේරත් මුස්ලිම්වරුන්ට කළ ඇරයුමත් ඔබ ප්‍රශ්නයක් නැතිව ජීවත් විය යුතුයි නම් බහුතරය තෘප්තිමත් කරන ජීවන රටාවක් තෝරාගන්න යන්නයි.
වහාබිවාදය ගැන අරාබි සංස්කෘතිය ගැන අදහස් දැක්වීමට විජිත හේරත්ට ඇති අයිතිය මා ගරු කරමි. ඒවා පිළිබඳව විජිත හේරත් අද ඊයේ කතා කරනවා නම් ඒ පිළිබඳ නොයෙකුත් බරපතල සාකච්ඡාවන් මුස්ලිම් සමාජය තුළ ආරම්භ වී දැන් බොහෝ කල්ය. නමුත් කුමක් ගෙන ගොස් කුමක් හා ගැට ගසන්නේද යන්නෙහියි බහුතර ජාතිවාදයේ උපාය රැඳී තිබෙන්නේ.මේවා බහුතර ජාතිවාදය භාවිත කරන්නේ තම ආධිපත්‍යය සාධාරණීකරණය කිරීමේ ආයුධයන් ලෙසයි. දැන් එහි නවතම දූතයකු බවට විජිත හේරත් පත්වී සිටී. එපමණකි.
ශ්‍රී ලාංකික ව්‍යවස්ථාවේ නීතියේ තුන්වන පරිච්ඡේදයේ පළමු කරුණු තුනම රටේ ජාති, ආගම්, සංස්කෘති විවිධත්වය ස්ථිර කරන අයුරිනුත් මධ්‍යස්ථ සාමදාන ජීවිතය ස්ථිර කරමිනුත් සැකසී ඇත. එසේ පවතින විටම බෞද්ධ ධර්මයට ප්‍රධාන තැන දී තිබෙන කරුණ වනාහි මේ මූලික අයිතිවාසිකම් අහෝසි වී යන්නාක් මෙන් චිත්‍රයක් බහුතර ජාතිවාදය ගොඩනගමින් තිබේ. මහා ජාතිවාදය තුළ සැඟව සිටින ෆැසිස්ට සහ නාසි මූලයන් කවදත් ප්‍රජාතාන්ත්‍රය තමාට අවශ්‍ය පරිදි අඹා ගැනීමේ ස්වභාවය එයට ලබා ගෙන ඇත.
පෞද්ගලිකව මගේ මතයත්, මුස්ලිම් සමාජය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සිදු වෙමින් පවතින අභ්‍යන්තර සාකච්ඡාන්ගේ හරයත් ඉස්ලාමයේ මූලික ඉගැන්වීම්වලට පටහැනි නොවන අයුරකින් ලාංකික සමාජයට ගැලපෙන සංස්කෘතික අංගයන් ක්‍රියාවට නැංවිය යුතුයි යන්නයි.විජිත හේරත් පවසන ආකාරයට මින් ඉදිරියට එවන් සාක්ච්ඡාවන් ආරම්භ විය යුතුයි යන අවශ්‍යතාවක් නැත.එය ආරම්භවී සිදු වෙමින් පවතින්නකි. නමුත් මෙහි ප්‍රශ්නය සැබැවින්ම එය නොවේ.
බහුතර ජාතිවාදී චින්තනය වනාහි බහුවිධ සංස්කෘතියත් එකකට වඩා වැඩි වූ අනන්‍යතාවන් පිළිගැනීමේ තත්වයක නැත.එය උත්සහ කරන්නේ සියල්ලක්ම තම ජාතිය, ආචාර ධර්ම, අනන්‍යතාවය තුළ රාමු කරන්නටයි.එහි ග්‍රහණයට හසු නොවූ ඕනෑම දෙයක් කොන් කර පලවා හරින්නට එය පසුබට නොවේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ බහුතර ජාතිවාදය පරිණාමය සලකා බැලීමෙන් මෙය ලේසියෙන් වටහා ගත හැක.
දේශීය රාජ්‍ය ක්‍රමවේදය තුළ ඕනෑම රටකට ස්වෛරීත්වයක් තිබීම ඉතාමත් වැදගත් අංගයකි.රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් ප්‍රචන්ඩත්වය යොදා ගැනීමේ අයිතිය ආණ්ඩුවට හිමිවේ. ජනවාර්ගික ජාතිකත්වයත්, බහුතරයට පක්ෂ ජනවාර්ගික අර්බුදයත් ක්‍රියාවට නැංවී පවතින විට රජයට ඇති මේ අයිතිය බහුතරය තමාට ඇති අයිතිය ලෙසත්, ස්වෛරීභාවය ලෙසත් සලකන්නට පටන් ගනී. රජයට පමණක් අනුමැතිය ඇති ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමට ඇති බලය හා අයිතිය, තම බලය ලෙස අයිතිය ලෙස සලකා බහුතරය ඒ අනූව ක්‍රියා කරන්නට පටන් ගන්නේ මේ හේතුව නිසාය. නීතිය සිය අතට ගැනීමේ අවසරය එය අනුමත කර ගනී. නිදහස ලැබීමෙන් පසු ලංකාවේ දිගටම මේ තත්වය නිරීක්ෂණය කළ හැකිව තිබේ. මෙම අවස්ථාවල මෙය දැක දැකත් , නොදැක්කා සේ ඉඳීම සාමාන්‍යයෙන් රජයන්ගේ ස්වභාවයයි.
මනාප බැංකු ඉලක්ක කළ දේශපාලන සංස්කෘතියේ මෙම බහුතර ජාතිවාදයේ සංඛේතයන් දැක්කත් නොදැක්කා සේ සිටීමත් රහසිගත අනුමැතිය ලබා දීමත් රටේ අභිවෘද්ධියේත්, සංවර්ධනයේත් ඇති කරන දීර්ඝ කාලීන ඍණාත්මක බලපෑම් පිළිබඳව රජයන් එතරම් තැකීමක් නොකරනවා යන්නයි දැනට පෙනී යමින් තිබෙන්නේ.
බහුතර ජාතිවාදයේ මේ සීමාව ඉක්මවීම් නීතියේ රැහැන වෙත ගෙන යෑම ප්‍රවේශමෙන් වලක්වා ගැනීම මගින් රජයන් ඒ සඳහා වූ තම අනුමැතිය ව්‍යංඝව ලබා දීම දැකිය හැකියි.
මෙහිදී ජාතික ස්වෛරීභාවය යන්න බහුතරයේ ස්වෛරීභාවය ලෙස පෙන්නුම් කරනු ලැබේ.මේ පැහැදිලි කිරීම මත ශ්‍රී ලාංකිකයා යන අනන්‍යතාවයත්, සිංහල බෞද්ධයා යන අනන්‍යතාවයත් අතර පැහැදිලි වෙනසක් පවතින බව බහුතර ජාතිවාදීන් නොසලකයි. ඒ අනුව මහ ජාතියේ භාෂාවත් සංස්කෘතියත් තම භාෂාව ලෙසත් සංස්කෘතිය ලෙසත් පිළිගත්, බෞද්ධ ආගමේ උසස් බව පිළිගත් ඕනෑම සුළුතරයක් කිසිම ගැටලුවකින් තොරව ශ්‍රී ලංකාව තුළ ජීවත් විය හැකිය. දේශප්‍රේමී මුස්ලිම්වරු යන සංකල්පය බහුතර බෞද්ධ ජාතිවාදීන් ගොඩනගන්නේ මේ පසුබිමෙහි හිඳයි.
2015 අගෝස්තු ඇති වූ මහ මැතිවරණයෙන් පසු “පටු ජාතිකවාදයට එරෙහිව බහුවිධ සංස්කෘත්යේ ජයග්‍රහණය” (A Victory For ‘Cosmopolitanism’ Over Narrow Nationalism) යන මැයෙන් ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු මහතා කලම්බු ටෙලිග්‍රාෆ් වෙත ලිපියක් පලකර තිබුණි.නමුත් යතාර්ථය නම් එහි ඔහු සඳහන් කර තිබූ පරිණත තත්වයන් කිසිවක් පසුගිය තෙවසරක යහපාලනයේ දකින්නට නොලැබුණු බවයි. යහපාලන සන්ධානයේ ඝෝෂා පාඨයන්ටත්, ලංකාවේ ක්‍රියාන්විත දේශපාලන සංස්කෘතියේ ස්වභාවයන් අතරත් වූ පරතරය ඉතා විශාල බැවින් ඝෝෂා පාඨයන් ක්‍රියාවට නැංවීමට වඩා ක්‍රියාන්විත දේශපාලනයේ උණුසුම තුළ (comfort zone) රැකවරණය ලැබීම පහසු කටයුත්තක් බවට පත්වේ.
තවත් අතකින් බලන විට බහුතර ජාතිවාදයේ මේ ස්වභාවන් මධ්‍යයේ සුළු ජාතිකයින්ට පක්ෂව හඬ නගන බොහෝ දෙනා බහුතරය තුළ සිටින්නන් වීම සැබැවින්ම අගය කළයුත්තක් මෙන්ම ස්තූතිපූර්වකව දැකිය යුත්තකි. එනමුත් යහපත් අරමුණින් නැගෙන මෙම හඬ පවා බහුතරය මධ්‍යයේ බහුතර ජාතිවාදී මානසිකත්වය නිවැරදිව දකින තත්වයක්ද ඇතිකර තිබීම නොසලකා හැරිය නොහැක.මෙවැනි තත්වයක් උදා වී තිබීමට හේතුව ප්‍රශ්නයේ මූල බීජය කුමක්ද යන්න උචිත අයුරින් ඉදිරිපත් කර නොතිබීම නිසයි.
එයිනුත් මෑත කාලයක සිට බහුතර ජාතිවාදය මෙවන් නව මුහුණුවරක් ගෙන තිබීම සුලබව අවධානය කිරීමට හැකිව තිබේ. බහුතර ජාතිවාදී අදහස් ප්‍රකෝපකාරී වෛරී වාග් මාලාවකින් ඉදිරිපත් කරනු වෙනුවට සුළුතරයින්ට වූ උපදෙස් ලෙස මේකප් දමා පොදු මාධ්‍යයන්හි ඉදිරිපත් කිරීම මගින් බහුතර ජාතිවාදී මානසිකත්වයත් අස්වසා සුළුතරයින්ගේ පොදු මානසිකත්වයෙනුත් හොඳ නම ලබා ගන්නා ද්විත්ව ලාබ අරමුණු කරගත් දේශපාලනයේ රඟන්නට බොහෝ දෙනෙකු දැන් ආරම්භ කර ඇත.මනෝ ගනේෂන්ගේ අදහස්ද, විජිත හේරත්ගේ අදහස්ද ඉන්පසු රතන ස්වාමින් වහන්සේගේ අදහස්ද සලකා බැලිය යුත්තේ මේ පසුබිමෙහි හිඳයි.
ජවිපය තම අතීත වැරදි නිවැරදි කරගෙන රටේ යහපත මුල්කොට ජනතාව වෙනුවෙන් හඬ නගන පක්ෂයක් ලෙස ජනතාව සලකන මේ කාල වකවානුවේ,තවත් වරක් බහුතර ජාතිවාදය තුළ හසු නොවිය යුතුයි යන්නයි මේ රටට අවංකව ආදරය කරන සැමගේ එකම බලාපොරොත්තුව. මෙවන් පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස විජිත හේරත් පක්ෂයේ ගමනට විශ්වාසවන්තවත්, බෙදුම්වාදයට එරෙහිවත් සිටිය යුතුයි යන්නයි ජනතාවගේ කැමැත්ත. රට අභ්‍යන්තරයේ වූ ගැටළු හා බාහිරින් එන බලපෑම් ලෙස ප්‍රශ්න අතර සිරවී සිටින ශ්‍රී ලංකාවේ ජවිපයේ නමත් නරක් කරගන්නටවූ දොරටු එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අතින්ම සිදු වීම කිසිසේත්ම උචිත නොවේ.
Previous Post :Go to tne previous Post
Next Post:Go to tne Next Post