Aug 29, 2018

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නඩු අසා අගවිනිසුරුවරිය ඉවත් කළ විදියේ වැඩ අපි කළේ නෑ



තමන්ගේ ආණ්ඩුවක් බලයට පැමිණි පසු වත්මන් ආණ්ඩුවේ ස්ථාපිත කළ විශේෂ මහාධිකරණ අහෝසි කරන බව බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනතා මුදල් අවභාවිත කළ බවට තම හෘද සාක්‍ෂියෙන් ගැලවීමට නොහැකි නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.

අගවිනිසුරුවරයා, නීතිපතිවරයා, පොලිස්පතිවරයා, ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කිරීමට ජනාධිපතිවරයා සතුව තිබූ බලතල 19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත මණ්ඩලයට පැවරීම හේතු කොට අධිකරණයට ඇඟිලි ගැසීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහෝසි වීම නිසා අධිකරණයේ ස්වාධීනත්වය සමඟ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීමට හැකිවූ බවත්, මේ සඳහා වත්මන් ආණ්ඩුවට වසර තුනක පමණ කාලයක් ගතවූයේ යැයිද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

වත්මන් ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම නිසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මෙම ආණ්ඩුවේම නියෝජ්‍ය ඇමැතිවරයකුට අධිකරණය හමුවට යෑමට සිදුව ඇතැයි පෙන්වා දෙන මන්ත්‍රිවරයා පසුගිය පාලන සමයේ අධිකරණයේ සියලු කටයුතු සිදුවූයේ හිටපු ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි බවද මන්ත්‍රිවරයා සඳහන් කරයි.
පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (28දා) පැවැති එජාප මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළකළ මන්ත්‍රිවරයා පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ මහ පරිමාණ දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව වත්මන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් නොපැනවීම පිළිබඳ කරන ලද චෝදනාවලට මේ වන විට බොහෝ දුරට පිළිතුරු ලැබී ඇතැයිද ප්‍රකාශ කෙළේය.

වැඩිදුරටත් එහිදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී අප දුන් පොරොන්දු අතරින් ප්‍රමුඛත්වය ලැබුණේ පසුගිය කාල සීමාවේ සිදුවූ වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පරීක්‍ෂණ පවත්වා වරදකරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදීම පිළිබඳවයි. මෙම ආණ්ඩුව බලයට පැමිණි පසු එම පොරොන්දු ඉටුනොකරන බවටත්, අධිකරණ කටයුතු මන්දගාමීව සිදු කෙරෙන බවටත් ජනතාව අපට දිගින් දිගටම චෝදනා කළද නීතිය ක්‍රියාත්මක කර සරත් ෆොන්සේකා මහතා හිරේ දැමීම, හිටපු අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවේදි නඩු අසා තනතුරෙන් ඉවත් කළ ආකාරයට වැඩකරන්න අපේ ආණ්ඩුවට බැහැ.

අපේ ආණ්ඩුව බලයට පැමිණි පසු එකී දූෂණ වංචා හොරකම් අක්‍රමිකතා, අපරාධ පිළිබඳ සී.අයි.ඩී.ය, එෆ්.සී.අයි.ඩී.ය., අල්ලස් කොමිසම ඇතුළු ආයතන හරහා විධිමත් පරීක්‍ෂණ ආරම්භ කළා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය හා අල්ලස්, මානව හිමිකම් හා භෞතික සම්පත් ප්‍රමාණවත් නොවීම නිසා නඩු විභාග කිරීම සඳහා වසර 15-17ක් අතර කාලයක් ගතවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී තිබුණා. නීතිය තහවුරු කරන මෙම ආයතන පිළිබඳව නොසලකා හැර තිබූ නිසා මහාධිකරණ විනිසුරුවන්, රජයේ නීතිඥයන්, අධිකරණ කාර්ය මණ්ඩල පුරප්පාඩු මෙන්ම භෞතික සම්පත් අඩුපාඩුද සපුරාලීමට වත්මන් ආණ්ඩුවට සිදුවුණා. මේවා දවසකින්, දෙකකින්, මාසයකින්, හමාරකින් කළ හැක්කක් නොවේ. එමෙන්ම අධිකරණ අණපනත්ද සංශෝධනය කළ යුතු වුණා. මේ සියලු කටයුතු සඳහා අපට වසර 3ක කාලයක් ගතවුණා. ඒ අනුව පළමු වැනි විශේෂ අධිකරණයේ කටයුතු ඇරැඹීමට පසුගියදා අපිට හැකියාව ලැබුණා. එහි ප්‍රථම නඩුව හිටපු ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් ඇතුළු පිරිසකටත්, දෙවැනි නඩුව ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිවත් විභාග කිරීම ආරම්භ වී තිබෙනවා. අනෙක් විශේෂ මහාධිකරණ දෙකත් කඩිනමින් ආරම්භ කිරීමට අධිකරණ අමාත්‍යතුමිය පියවර ගනිමින් සිටිනවා.

අද බැසිල්ලා, ගෝඨාභයලාට අධිකරණය ඉදිරියට ගිහින් තමන් පිළිබඳ නඩුවලට එරෙහිව යම්යම් නියෝග ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒවාට කිසිවකුට ඇඟිලි ගහන්න, මැදිහත් වෙන්න, බලපෑම් කිරීමට හැකියාවක් නැහැ. මහින්ද රාජපක්‍ෂ පාලනය අහෝසි කළ ස්වාධීන කොමිසම් සියල්ල අපි යළි ස්ථාපිත කළා. ජනතාවට සත්‍ය දැනගැනීමට ඇති අයිතිය තහවුරු කරමින් තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කළා. පසුගිය ආණ්ඩු සමයේ කරු ජයසූරිය මැතිතුමා එම පනත ගෙන ආ වෙලාවේ රාජපක්‍ෂ ආණ්ඩුව එය තම ඡන්ද බලය යොදාගෙන ප්‍රතික්ෂේප කළා. මැතිවරණ කොමිසම, අල්ලස් කොමිසම ශක්තිමත් කළා. මේ වන විට අල්ලස් නඩු 250ක් පමණ අධිකරණයට යොමුකර තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ සමානාත්මතාව, මානව හිමිකම් සුරක්‍ෂිත කිරීමට ගතවූ වසර තුළ අපේ ආණ්ඩුව විශාල කැපවීමක් සිදුකර තිබෙනවා.
උපතිස්ස පෙරේරා

SHARE THIS

Author:

If you have any problems or have comments or suggestions for improving our web, please contact ceylonmuslim24@gmail.com we will do our best to assist you | Chief Edito, CeylonMuslim Media Network